සමලිංගික විවාහ නීතිගත කරන්නැයි ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමත් ඔක්තෝබර් 17 දින ප්‍රතික්ෂේප කර තිබේ.
ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ඉන්දීය අගවිනිසුරු ධනංජය යෙෂ්වන්ත් චන්ද්‍රචුඩ් කියා සිටියේ මෙම ගැටලුව තීරණය කිරීම අධිකරණයේ බල සීමාවෙන් පිටත පවතින බවයි. විවාහය පාලනය කරන නීති පාර්ලිමේන්තුව විසින් සකස් කළ යුතු බව ද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළා.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවරුන් හතර දෙනාගෙන් දෙදෙනෙකු සමලිංගික විවාහ නීතිගත නොකිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු චන්ද්‍රචුඩ් සමඟ එකඟ වූ අතර එය බහුතරය බවට පත් විය.
අනෙක් විනිසුරුවරුන් දෙදෙනෙක් සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
යටත් විජිත යුගයේ සමලිංගික සේවනය තහනම් කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 වසරේ දී අවලංගු කරන ලද අතර ඉන්පසු ඉන්දියාව පුරා LGBTQ+ ප්‍රජාවේ නැගීසිටීමක් දක්නට ලැබුණා. එම ඓතිහාසික තීන්දුවෙන් වසර පහකට පසුව නවතම අධිකරණ තීන්දුව ද ආසියාවටම වැදගත් තීන්දුවක් බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.
මේ වනවිට ආසියාවේ සමලිංගික විවාහයන්ට ඉඩ දෙන්නේ තායිවානය සහ නේපාලය පමණක් වීම ද විශේෂිත කරුණක්.
සමලිංගික සහකරුවන්, එකට දරුවන් ඇති දැඩි කරන පිරිස්, LGBTQ+ ක්‍රියාකාරීන් සහ සංවිධාන විසින් ගොනු කරන ලද පෙත්සම් 21 ක් අධිකරණය විසින් විභාග කරන ලදී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් තර්ක කළේ විවාහය යනු පිරිමියෙකු සහ කාන්තාවක් පමණක් නොව පුද්ගලයන් දෙදෙනෙකුගේ එකමුතුවක් බවයි. කාලයත් සමඟ විවාහය පිළිබඳ වෙනස් වන සංකල්ප පිළිබිඹු වන පරිදි නීති වෙනස් කළ යුතු බවත් සමලිංගික සහකරුවන් ද විවාහයේ ගෞරවනීයත්වය අපේක්ෂා කරන බවත් ඔවුහු පවසති.

