දේශීය පුවත්

කෙහෙළියට සෞඛ්‍ය අහිමි කරමින් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යංශ නැවත අනයි

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ආණ්ඩුවේ අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ සංශෝධනය කර තිබේ.

ඒ අනුව, මතභේදකාරී සිදුවීම් රැසකට පාදක වී තිබූ සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරීමටත් ඔහු නසීර් අහමඩ් ඉවත් කිරීමෙන් හිස් වූ පරිසර අමාත්‍යංශය ලබා දීමටත් ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත්කොට ඇති අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යධූරයට අමතරව කර්මාන්ත අමාත්‍යධූරය ද දරයි.

රමේෂ් පතිරණ විසින් මෙතෙක් දැරූ වැවිලි අමාත්‍යංශය ද, කෘෂිකර්ම අමාත්‍යධූරයට අමතරව මහින්ද අමරවීර වෙත ලබා දී ඇත.

එසේම, මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයෙකු ලෙස ද ජනාධිපතිවරයා විසින් පත්කොට ඇත.

අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිය අමාත්‍යධූරයන් හී දිවුරුම් දී ඇති අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද සහභාගී වී තිබේ.

කෙසේ වෙතත් මහින්ද අමරවීර හා රංජිත් සියඹලාපිටිය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනාට නව අමාත්‍යධූර ලබා දීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් සඳහන් කළා.

මෙය හිසරදයට කොට්ටය මාරු කිරීමක් බවයි මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා සඳහන් කළේ. මෙය කිසිසේත් වර්තමාන ගැටළුවලට විසඳුම් නොව හුදෙක් මහජනතාව රැවටීමට ගන්නා උත්සාහයන් බවයි ඔහු සඳහන් කළේ.

කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කිරීම තුළින් ඔහුට එරෙහි විශ්වාසභංගයේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කළ ආකාරය වැරදි බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගත් තීරණය නිවැරදි බවත් ජනාධිපතිවරයාගේ මතය වී ඇති බව හෙළිදරව් වී ඇති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top