ව්‍යාපාර

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් වාහන බලපත්‍ර ගැන චෝදනා රැසක්

විදේශගත ශ්‍රමිකයින්ට විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන ආනයනය කිරීමට දුන් සුවිශේෂී අවස්ථාව අවභාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී පැවති සාකච්ඡාවක දී අනාවරණය වූයේ අදාළ බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ආනයනය කර ඇති බවට මේ වනවිට හෙළිදරව් වී ඇති බවයි.

එසේම මෙහිදී අනාවරණය කෙරුණු ප්‍රධානතම කරුණ වූයේ මෙලෙස ආනයනය කර ඇති වාහන 119න් වාහන 75ක්ම ආනයනය කර ඇත්තේ එක්තරා පුද්ගලික ආයතනයක් මගින් බවයි. ඒ සම්බන්ධයෙන් එහි ගොස් සිදුකළ පරීක්ෂාවක දී අදාළ වාහන ආනයන බලපත්‍ර හිමියන් හා ඒවා විකුණා ඇති පාර්ශවයන්, මිල ගණන් මෙන්ම ගෙන් වූ වාහන සම්බන්දයෙන් ද පූර්ණ තොරතුරු ලැයිස්තුවක් එම ආයතනයේ පරිගණක පද්ධතියේ තිබී හමු වූ බවයි.

ඒ අනුව, අදාළ බලපත්‍ර නිකුත් කිරීමට අදාළ චක්‍රලේඛයේ ප්‍රධානතම කොන්දේසියක් කඩ කරමින් වාහන ආනයනය කිරීමටත් පෙර එම බලපත්‍ර තුන්වැනි පාර්ශවයන් වෙත අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව, චක්‍රලේඛයේ දක්වා ඇති කාලපරිච්ඡේදය ඇතුළත නීත්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ මෙරටට එවා ඇති විදෙස් ප්‍රේෂණවලින් 50%ක මුදලක් ශ්‍රී ලංකා රුපියල් වෙත මාරු කළ පසු එන වටිනාකමට සමාන මුදලකට වාහනයක් ආනයනය කිරීමට අවසර දී තිබේ. මෙහිදී එලෙස ලබාගන්නා අමෙරිකානු ඩොලර් 250,000ක් වටිනා වාහන ආනයන බලපත්‍රයක් ජාවාරම්කරුවන් විසින් රුපියල් මිලියන 5ක මුදලකට අලෙවිකර ඇති බව ද කාරක සභාව හමුවේ අනාවරණය විය.

එමගින් ජාවාරම්කරුවන් වාහන ආනයනය කිරීමටත් පෙර විශාල ආදායමක් උපයා ඇත්තේ, එවැනි ගණුදෙනුවක් සිදුවන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රජයේ බදු ආදායම ද අහිමි කරමිනි.

එසේම අදාළ වාහන මෙරටට ගෙන්වා වසර 2ක් යනතුරු තුන්වන පාර්ශවයකට පැවරීම සිදුකළ නොහැකි බව අදාළ චක්‍රලේඛයේ පැහැදිලිව දක්වා ඇතත් මේ වනවිටත් වාහන අලෙවිසැල් තුළ ප්‍රසිද්ධියේ අදාළ වාහන අලෙවි කිරීම සිදුවන බවත්, එහිදී සත්‍ය වටිනාකම මෙන් දෙගුණයකටත් අධික කලුකඩ මිලකට එම වාහන අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවත් අනාවරණය කෙරුණා.

මෙහිදී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක දැනුම් දී ඇත්තේ, විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ලෙස භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසයි.

එසේම මෙම බලපත්‍රය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ක්‍රියාවලි විධිමත්ව කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බවට ද එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top