දේශීය පුවත්

ප්‍රමාණවත් සාක්ෂි නෑ, මන්ත්‍රීධූරය දරන්න ඩයනාට නීතිමය බාධාවක් නෑ – අභියාචනාධිකරණය

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් හා රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කරන ඩයනා ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕෂල හේරත් විසින් ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කොට තිබේ.

ඒ ඔක්තෝබර් 31 දින අදාළ පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කැඳවූ අවස්ථාවේ දී ය. 2ට 1ක් ලෙස බෙදු තීන්දුවක් ලබා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරුවරුන් ඇතුළත් විය.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතරය බවට පත් වෙමින් විනිසුරුවරුන් වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරුවරුන් අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව ප්‍රකාශයට පත් කළහ.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ ප්‍රමාණවත් සාක්ෂි සහිතව මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරමින් සහන පැතිය යුතු වුවත් මෙහිදී ඉදිරිපත්ව ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි. වගඋත්තරකාරියට එරෙහිව පවතින අපරාධ නඩුවක් පමණක් පදනම් කරගෙන සහ නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයෙකු පොලිසියට ලබාදුන් ප්‍රකාශයක් මත විශ්වාසය තබා අධිකරණය පැමිණ තිබීම මත එම සාක්ෂි, සාක්ෂි ආඥාපනත අනුව පිළිගැනීමට හැකිද යන ගැටළුව අධිකරණයට මතු වූ බවත් එවැනි තත්වයක් මත පෙත්සම්කරු අයැද සිටින සහන ප්‍රදානය කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවට අධිකරණය සෑහීමකට පත් නොවන බවත් විනිසුරුවරයා පවසා සිටියා.

එසේම මහජන සුබසාධන නඩුකරයක් වශයෙන් අදාළ පෙත්සම ඉදිරිපත් කළ බව දක්වා තිබෙන බවත්, එහිදී ඒ පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව එය ඉදිරිපත් විය යුතු බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා. එසේම එවැනි නඩුකරවල දී සදාචාර විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා සඳහන් කළේ සද්භාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ අදාළ පෙත්සම්කරු විසින් වගඋත්තරකාරිය අපකීර්තියට පත් කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවත්, පෙත්සම මගින් එල්ල කරන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු ඉදිරිපත් කර නොමැති බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව අනුව පෙත්සම්කාර ඕෂල හේරත් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට තරම් ඔහු විසින් අධිකරණය සෑහීමකට පත් කිරීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහුගේ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බව ප්‍රකාශයට පත් කළේ ය.

කෙසේ වෙතත් අදාළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සුළුතර තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමට අසමත්ව ඇති බවයි. එසේම වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටින අයෙක් බව ද සිහිපත් කළ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ අදාළ කරුණු අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ යන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවයි. එබැවින් පෙත්සම්කරු අයැද සිටි රිට් ආඥාවක් නිකුත් කරන බවත් වගඋත්තරකාරිය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් ය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින්, ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, අදාළ තීන්දුවට එරෙහිව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top