දේශීය පුවත්

One Galle Face ආරක්ෂක අංශ ගැන චෝදනා රැසක්, වාහනේක නාවොත් අව්වේ තබා දඬුවම් කරයි!

මෙරට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සංකීර්ණයක් ලෙස විවෘත කළ “වන් ගෝල් ෆේස්” සංකීර්ණයට පිවිසෙන පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව වාර්තා වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ හැසිරීම හා ක්‍රියාකලාපයන් දැඩි ලෙස දෝෂ දර්ශනය ලක්ව ඇති අතර අවිධිමත් කළමණාකරණය හේතුවෙන් එම තත්වය මතු වී තිබෙන බවට පාරිභෝගිකයින් චෝදනා කර සිටී.

නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි පාරිභෝගිකයෙකු රිවිර.lk වෙත අනාවරණය කර සිටියේ වාහනයක් නොමැතිව ප්‍රධාන පිවිසුමෙන් පැමිණෙන පාරිභෝගිකයින්ට දඩුවම් කෙරෙන ක්‍රමවේදයක් “වන් ගෝල් ෆේස්” හී අනුගමනය කරමින් ඇති බවයි. ඒ අනුව, උදෑසන සිට සවස් වන තෙක් දැඩි ඉර අව්වක් පතිත වන ස්ථානයක ඇති ප්‍රධාන පිවිසුමෙන් පාරිභෝගිකයින් ඇතුළු වීම සඳහා දීර්ග පෝලිමක අව්වේ රැඳී සිටීමට සිදුවන ආකාරයේ ක්‍රියාපිලිවෙලක් එහි අනුගමනය කරන බව ඔහු පෙන්වා දුන්නා. පාරිභෝගිකයින් වෙත අශීලාචාර ලෙස හා තර්ජනාත්මකව ආමන්ත්‍රණය කරන ආරක්ෂක අංශ නිලධාරීන් වරකට දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු බැගින් ඇතුළු කරගනිමින් එක් ස්කෑනර් යන්ත්‍රයක් පමණක් භාවිතා කරමින් පාරිභෝගිකයින් අසීරුතාවයට පත් කරන බවත්, අවම වශයෙන් පාරිභෝගිකයින්ට නිසි ගරුත්වයක් ඇතිව හෝ කටයුතු නොකර බවටත් ඔහු චෝදනා කර සිටියා.

ඇතුළු වීම සඳහා පෝලිමක රැඳී සිටින ජනතාව දැඩි අව් රශ්මියට හෝ වැස්සට ආවරණය වීමට පවා හැකිවන ස්ථානයක් සකස් නොකර “වාහනයක නාවානම් කාපං කට්ට” යන ප්‍රතිපත්තිය මත පිහිටා අදාළ කටයුත්ත සිදුවන බව පාරිභෝගිකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. එසේම අදාළ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සැරසෙන පාරිභෝගිකයින්ට පහර දීමට පවා උත්සාහ කරමින් ඇඟට කඩා පනින මැර කණ්ඩායමක් ලෙස ද ආරක්ෂක අංශ සාමාජිකයින් කටයුතු කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් “වන් ගෝල් ෆේස්” පාලනාධිකාරියට පැමිණිලි කළ ද ඔවුන් ඒ පිළිබඳව හෝ ක්‍රියානොකරන බවත්, අවම වශයෙන් සමාව අයැද සිටීමක් හෝ කණගාටුව පළ කිරීමක්වත් නොකරන බවත් පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ ආරක්ෂක අංශ වෙත බඳවාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කර මනස විකෘති වූවන් ද යන සැකය මතුවන බවයි.

මේ අතර දැඩි පරීක්ෂාවකට ලක්ව සාප්පු සංකීර්ණය තුළට පිවිසෙන පාරිභෝගිකයින් සිනමා ශාලාවට පිවිසෙන විට යළිත් වරක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරන බවත්, එහිදී කාන්තාවන්ගේ බෑග් පවා විවෘත කර පෙන්වන ලෙස පිරිමි නිලධාරීන් තර්ජනාත්මකව පවසන බවත් පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. එහිදී උස් හඬින් පෙන්නන්න පෙන්නන්න කියා කාන්තාවන් ලැජ්ජාවට පත්වන ආකාරයෙන් අදාළ ආරක්ෂක අංශ සාමාජිකයින් තර්ජනය කරන බවට ද පාරිභෝගිකයින් චෝදනා කර සිටිනවා.

මෙහිදී මෙම සාප්පු සංකීර්ණයට අදාළව එල්ල වන බරපතල චෝදනාවක් වන්නේ සිනමා ශාලාව ආසන්නයේ ඇති එළිමහන් ස්ථානය කුඩා දරුවන්ට නිදහසේ දුම්වැටි පානය කිරීමට හැකි ස්ථානයක් බවට පත් කර ඇති බවයි. දේශීය හා විදේශීය දරුවන් එම ස්ථානයේ නිදහසේ දුම්වැටි පානය කිරීම සිදුකරමින් සිටිය ද ඒ සම්බන්ධයෙන් මෙරට නීතිය ක්‍රියාත්මක නොවන බව ඔවුන් පවසනවා.

මේ අතර, වාහනවලින් පැමිණෙන පාරිභෝගිකයින්ට ද තම වාහනය රථ ගාලෙන් ඉවත් කර ගැනීමට බොහෝ වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුව ඇති බවත්, එම ස්ථානයේ රාජකාරි කරන ආරක්ෂක අංශ සාමාජිකයින් රථවාහන පෝලිමක් ඇති කරන ආකාරයෙන් කටයුතු කරන බවටත් චෝදනා එල්ල වනවා.

මෙවැනි තත්වයක් හමුවේ මීට හේතු වී ඇත්තේ අවිධිමත් පරිපාලනය බව ද පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පාලනාධිකාරිය දැනුවත් බවත්, ඒ අනුව ඔවුන් පියවර ගෙන ඇත්තේ ස්ථානය පිළිබඳ ජනතාව අදහස් දැක්වීමට යොදා ගන්නා සමාජ මාධ්‍ය හී ඇති අවස්ථාව අහිමි කිරීමට කටයුතු කරමින් ෆේස්බුක් හී Reviews ඉවත් කිරීම බව ද පාරිභෝගිකයින් පවසනවා. නමුත් ගූගල් රිවීව්ස් හී අදාළ චෝදනා පළ කිරීමට පාරිභෝගිකයින් කටයුතු කර ඇති බව ද පාරිභෝගික ජනතාව පවසනවා.

මෙම තත්වය සම්බන්දයෙන් අවශ්‍ය වන්නේ නිසි කළමණාකරණයක් පැවතීම බවත්, එය නියාමනය කිරීම රජයේ වගකීමක් බවත් පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. එබැවින් අදාළ ගැටළුවලට වහාම විසඳුම් ලබා දීමට “වන් ගෝල් ෆේස්” කළමණාකාරීත්වය යොමු කිරීමට රජය පියවර ගත යුතු බව ද පාරිභෝගිකයින් වැඩිදුරටත් පවසනවා.

පහළින් ඇත්තේ ගූගල් රිවීව්ස් වෙතින් උපුටා ගත් අදහස් කිහිපයක් පමණයි.

පිළිතුරු දීමේ අයිතිය – rivira@rivira.lk

Rivira FB Group Rivira Youtube
To Top