මහබැංකුව විසින් අවස්ථා කිහිපයක දී පොලී අනුපාත පහළ දමමින් චක්‍රලේඛ නිකුත් කර තිබිය දී පවා එම නියමයන්ට අනුකූලව ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළ දමා තිබුණ ද ණය පොලී අනුපාත පහළ දමා නොමැති බවට ණය පාරිභෝගිකයින් චෝදනා කර සිටී.
කෙසේ වෙතත් මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වනවිට ණය පොලී අනුපාත පහළ දැමීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකරුවන්ගෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළා. කෙසේ වෙතත් ණය පහසුකම් ලබා දීම සීමා කෙරෙන ආකාරයෙන් නීති මාලාවක් බැංකු විසින් බැංකු කළමණාකරුවන් වෙත ඉදිරිපත් කර ඇති අතර ණය ලබා ගැනීම තවදුරටත් එම නීතිරීති මගින් අධෛර්යමත් කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර ණය පාරිභෝගිකයින් පවසන්නේ මේ වනවිට රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ණය පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වන ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බවයි. මේ වනවිට ණය පොලී අනුපාත දිගින් දිගටම පහළ යන තත්වයක් පැවතීම හේතුවෙන් ණය පහසුකම් ලබා දීමේ දී ස්ථිර පොලී අනුපාතයක් (Fixed Rate) යටතේ පමණක් ණය ලබා දීමට බැංකු කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසනවා. ඒ අනුව, ණය පාරිභෝගිකයින් ලබා ගන්නා ණය පහසුකම්වලට අදාළව ඉදිරියේ දී සිදුවන පොලී පහළ යෑම් හමුවේ සහනයක් නොලැබෙන සේ ක්‍රියාකිරීමට බැංකු මේ අනුව කටයුතු කරමින් සිටින බව ණය පාරිභෝගිකයින් පවසනවා.
ණය පාරිභෝගිකයින් මහබැංකු රෙගුලාසි උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ණය පොලිය ස්ථිර (Fixed) හෝ විචල්‍ය (Variable) පොලී ක්‍රමය මත ලබා ගැනීමට පාරිභෝගිකයාට අයිතිය ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය කාලයේ දී ණය පොලී ඉහළ යාමේ දී කලින් ලබාගෙන තිබූ ණය පොලී ද අධික ලෙස ඉහළ දැමූ බැංකු විසින් ණය පොලී පහළ යාමේ දී මෙවැනි අසාධාරණ හා වංචනික ක්‍රියාවන් සිදුකිරීම තරයේ හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් මහබැංකුව මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් ණය පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

