ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ක්‍රීඩා ලෝලීන් රැස් වෙයි, ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට සුළු මොහොතක පෙර මොහාන් සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කළමණාකාරීත්වයට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති පසුබිමකයි.

ඉන්දියාව හමුවේ ලැබූ අවමන් සහගත ලකුණු 302ක ඉතිහාසගත පරාජයත්, දිගින් දිගටම සිදු වන තරග පරාජයනුත් හේතුවෙන් පාර්ශව රැසක්ම බල කර සිටින්නේ පුහුණුකරුවන්, තේරීම් කමිටුව හා ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ධූරවලින් ඉවත් විය යුතු බවයි.

මේ වනවිට (නොවැම්බර් 4) ක්‍රීඩා ලෝලීන්, සිවිල් සංවිධාන හා ක්‍රිකට් ආයතනය ගැන උනන්දුවක් දක්වන පාර්ශව රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉදිරිපිටට රැස්වෙමින් සිටින අතර එහි උණුසුම් තත්වයක් නිර්මාණය වෙමින් පවතී. සුවිශාල පොලිස් ආරක්ෂාවක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අවට ප්‍රදේශයට යොමු කර තිබෙන අයුරු දකින්නට ලැබෙන අතර තවදුරටත් එම ස්ථානයට ජනතාව පැමිණෙමින් සිටී.

මේ වනවිට ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉදිරිපිට බිම වාඩි වී සිටින අයුරු ද නිරීක්ෂණය වේ. රැස්ව සිටින පිරිස ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සියලු දෙනා ඉවත් විය යුතු බවත් එසේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරයා විසින් එම පිරිස ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් ය.

Rivira FB Group Rivira Youtube
To Top