ක්‍රීඩා

ශම්මිගේ ක්‍රිකට් රකින්න ප්‍රධාන නාලිකාවක් බරටම වැඩ

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අන්තර්වාර පාලන කමිටුවක් පත් කිරීමත් සමග ප්‍රධාන නාලිකාවක් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට සහ නව කමිටුවට එරෙහිව දැවැන්ත මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රථමයෙන්ම අදාළ කමිටුව පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් නොමැති බවට “Breaking News” පුවතක් වාර්තා කිරීමෙන් ආරම්භ කරන ලද අදාළ මෙහෙයුම මගින් ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත බලයට ගේම අපේක්ෂාව වී ඇතැයි ක්‍රීඩා ලෝලීන් චෝදනා කර සිටිනවා. මිත්‍යාව වපුරමින් සිය දේශපාලන න්‍යායපත්‍ර මුදුන් පමුණුවා ගැනීම එකම අපේක්ෂාව කරගත් නාලිකාවක් මෙලෙස ක්‍රියාත්මක වන බවත්, රටේ ඉහළම දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාවය අනුව ඔවුන් කටයුතු කරමින් සිටින බවටත් ක්‍රීඩා ලෝලීන් චෝදනා කර සිටිනවා.

අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුවට එරෙහිව ශම්මි සිල්වා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද රිට් පෙත්සමක් සළකා බැලීමෙන් පසු අදාළ කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයත් සමග අතුරු කමිටුව හකුලාගෙන යන බවක් පෙන්වීමට ද අදාළ නාලිකාව කටයුතු කරමින් සිටින බව ක්‍රීඩාලෝලීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනයට එරෙහිව වෙනත් මාධ්‍ය නාලිකාවක් සිදුකරන මාධ්‍ය මෙහෙයුමකට ප්‍රතිචාර වශයෙන් අදාළ නාලිකාව මෙලෙස ක්‍රියාත්මක වන බව තම අදහස බවයි. කෙසේ නමුත් මෙහිදී මාධ්‍ය ආයතන කටයුතු කළ යුත්තේ සාධාරණත්වය, අපක්ෂපාතීත්වය සහ සත්‍ය මතු කිරීම වෙනුවෙන් බව ද ඔහු අවධාරණය කළා.

Rivira FB Group Rivira Youtube
To Top