ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට (06 දින) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර තිබෙන අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා පත් නොකිරීම විශේෂත්වයක්.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවේ වගකීම බවයි. අදාළ කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමටත් තීරණය කර ඇත.
කෙසේ වෙතත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ අදාළ කැබිනට් රැස්වීම අවසානයේ තමන්ව ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙත කැඳවා තමන් අමාත්‍යවරයා ලෙස පත් කළ කමිටුව ඉවත් කරගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට නියෝග කළ බවයි. කෙසේ වෙතත් තමන් එම ඉල්ලීමට එකඟ නොවූ බවත්, අවශ්‍ය නම් තමාව ධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත දැන් වූ බව රොෂාන් රණසිංහ පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රීඩා පනත ප්‍රකාරව අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීමේ දී ජනාධිපතිවරයාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය නොවන බවයි. එසේම තමන් සිදුකළේ සුවහසක් ක්‍රිකට්වලට ආදරය කරන ප්‍රේක්ෂකයින්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ක්‍රීඩා විචාරකයින් පවසන්නේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ඉතාමත් සාධනීය හා විචාරශීලි බවයි. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාට ජනාධිපතිවරයා බලපෑම් කිරීම සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළත් නොවන කැබිනට් අනුකමිටුවක් පත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ඈඳා ගැනීමක් බවයි. මෙවැනි තත්වයක් තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අස්ථාවර තත්වයකට පත් කළහොත් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවීමක් සිදුවිය හැකි බව ක්‍රීඩා විචාරකයින්ගේ මතයයි.

