ව්‍යාපාර

මිල ඉහළ දැමීමෙන් වාහන අලෙවිය යළිත් පහළ වැටෙයි

සංවිධානාත්මක ලෙස වාහන අලෙවිසැල් හිමිකරුවන් විසින් වාහන මිල ඉහළ දැමීම හේතුවෙන් යළිත් වරක් වාහන අලෙවිය දැවැන්ත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ලීසිං ආයතන පවසන්නේ වෙළඳපොල වටිනාකම කෘතීම ලෙස ඉහළ දැමීම හේතුවෙන් වාහන වෙළඳපොල වටිනාකම මත ලබා දිය හැකි ලීසිං මුදල අඩු වීම වාහන අලෙවිය යාමට හේතු වී ඇති බවයි.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ තම දත්ත අනුව, පසුගිය මාසය තුළ වාහන යළි පැවරීම් 40%කින් පමණ පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බවයි. මහබැංකුව විසින් පොලී අනුපාත පහළ දැමීමෙන් සති දෙකකට පසු වාහන පැවරීම් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබුණත් එම තත්වය මාසයක් වැනි කෙටි කාලයක් පමණක් පැවති බවත්, ඉන් පසු ක්‍රමිකව පැවරීම් ප්‍රමාණය පහළ ගොස් ඇති බවත් දත්ත නිරීක්ෂණයේ දී අනාවරණය වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

මේ අතර වාහන ආනයනකරුවන් පවසන්නේ තම ඉල්ලීම් ඉටු නොකර වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද කළහොත් වාහන මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි. ඔවුන් පවසන්නේ වාහන ආනයනය සම්පූර්ණයෙන් විවෘත කිරීම වෙනුවට ලියාපදිංචි ආනයනකරුවන්ට පමණක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි. එහිදී විදෙස් සංචිතවලට බලපෑමක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා වන යෝජනා තමන් විසින් බලධාරීන් වෙත ලබා දී ඇති බව ද වාහන ආනයනකරුවන් පවසනවා.

මේ අතර පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ වාහන ආනයනය විවෘත කරන්නේ නම් තවදුරටත් මාෆියා සඳහා අවස්ථා සැළසීමකින් තොරව විවෘත කළ යුතු බවයි. තෝරාගත් අයට පමණක් ආනයනය කිරීමට අවසර දීම වාහන මිල තවදුරටත් ඉහළ යන ක්‍රමවේදයක් බවත් කලුකඩ මිලක් නිර්මානය වීම සිදුවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට ලක්ෂ 50ට අඩුවෙන් පැවති වාහනවල මිල රුපියල් ලක්ෂ 5ත් 10ත් අතර මිලකින් ද ලක්ෂ 50ත් 100ත් අතර පැවති වාහනවල මිල රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මිලකින් ද, ලක්ෂ 100ට වැඩි වාහන රුපියල් ලක්ෂ 15කට වැඩි මිලකින් ද ඉහල ගොස් ඇති බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් වාහනයක් විකිණීම සඳහා ඉදිරිපත් කර දින 10ක පමණ කාලයක් තුළ විකිණෙන තත්වයක් පැවතිය ද මේ වනවිට බොහෝ විට මාසයකට වැඩි කාලයක් ගත වෙමින් පවතින බව අලෙවිකරුවන් පවසනවා. බොහෝ විට ලීසිං පහසුකම් සඳහා ලබා ගන්නා වාහන මිල ඇස්තමේන්තුවට වඩා වැඩි මිලකට වාහන මිල නියම කර තිබීම මෙම තත්වයට හේතු වී ඇති බව ඔවුන් ද පිළිගනිමින් පවසන්නේ මෙවැනි තත්වයක් නිර්මාණය කර ඇත්තේ සංවිධානාත්මක වෙළෙඳුන් පිරිසක් විසින් බවයි. ඔවුන් සතුව වාහන විශාල ප්‍රමාණයක සංචිත පැවතීම හේතුවෙන් මිල තීරණය කිරීමේ බලයක් ඔවුන් ගොඩනගමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top