- අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන ඇගිලි ගැසීම් හෙළා දකී.
- පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ විනිසුරුවරුන්ට චෝදනා කිරීම හෙළා දකී.
- සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීම නීතියෙන් සුරක්ෂිත අයිතිවාසිකමක් බව අවධාරණය කෙරේ.
- විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශනයක් ඉල්ලයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමේ සිද්ධියට අදාළ නඩුවක් සම්බන්ධයෙන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයකු 2023 නොවැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැළඹී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසනවා.
“අධිකරණයේ ස්වාධීනත්වය” නීතියේ ආධිපත්‍යයේ මූලික මූලධර්මයක් වන අතර, එබැවින්, අධිකරණ ස්වාධීනත්වයට සිදුවන ඕනෑම ආකාරයක අනිසි ඇඟිලි ගැසීම් අතිශයින් බරපතල වන අතර, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරනු ඇති බැවින් එවැනි ක්‍රියා හෙළා දැකිය යුතු බව ද නීතිඥ සංගමය නොවැම්බර් 09 දිනැතිව නිකුත් කරන ලද සිය නිවේදනයෙන් පවසනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, උප සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, භාණ්ඩාගාරික නීතිඥ චමත් ජයසේකර සහ සහකාර ලේකම් නීතිඥ මෙහ්රා කරීම් යන අයගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයෙන් වැඩිදුරටත් එම සංගමය පවසන්නේ නිදහස් සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් යතුර වන බව BASL සැමවිටම පිළිගෙන ඇති බවයි. එසේම ඒ තුළ විනිසුරුවරුන් නිදහස් වනු ඇති බවට සහතික වන අතර කරුණු සහ නීතිය මත පදනම්ව අපක්ෂපාතී තීරණ ගැනීමට ඔවුන්ට නිදහස තිබිය යුතු බව ද නීතිඥ සංගමයේ ස්ථාවරයයි. සෑම අවස්ථාවකදීම, විශේෂයෙන් රජයෙන් කිසිදු බලපෑමක් හෝ මැදිහත්වීමක් නොමැතිව, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්නන් ලෙස ඔවුන්ගේ භූමිකාව ක්‍රියාත්මක කිරීමට නිදහසක් තිබිය යුතු බව එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
“පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමින් පවතින අධිකරණමය නඩු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම සහ විනිසුරුවරුන් ගැන සඳහන් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු තර්ජනයක් ලෙස සලකන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි හැඟීමයි. මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය දිගින් දිගටම දැඩි අවධානයක් යොමු කර ඇත.”
“තවද, සාමාන්‍ය මහජනතාවගේ පිළිගැනීම සහ විශ්වාසය යන පදනම මත අධිකරණය ගොඩනැගී ඇති බව BASL තරයේ විශ්වාස කරන අතර, එම නිසා එම මහජන විශ්වාසය සුරක්ෂිත කිරීම සහතික කිරීම අධිකරණ නිලධාරීන්ට අතිශයින් වැදගත් වේ.”
නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතිවාසිකමක් වන අතර, එකී අයිතිවාසිකමට එල්ල වන ඕනෑම තර්ජනයක් සමස්තයක් වශයෙන් වෘත්තියට එල්ල කරන ප්‍රහාරයක් ලෙස සළකන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සිහිපත් කරන බවයි.
“විජේසුන්දර මුදියන්සේලාගේ නවීන් නයන්ත බණ්ඩාර විජේසුන්දර එදිරිව සිරිවර්ධන සහ තවත් අය (SCFR 13/2019) යන නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නිරීක්ෂණය කළේය.”
“මේ අනුව මේ රටේ සහ ඕනෑම ශිෂ්ට සමාජයක සාධාරණ යුක්තිය පසිඳලීමට නීතිඥ වෘත්තිය අත්‍යවශ්‍ය සාධකයක් බවට විවාදයක් නැත. නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට සහ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ඉහත කී වෘත්තිය අත්‍යවශ්‍ය වන අතර, සමස්තයක් ලෙස රටේ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මූලික වශයෙන් පදනම වන සමාජයේ සංවිධානාත්මක ක්‍රියාකාරිත්වය සඳහා එහි නිසි පැවැත්ම අතිශයින් වැදගත් වේ.” නීතිඥ සංගමයේ නිවේදනයේ එලෙසින් ද සඳහන් වේ.
නමුත් එම සංගමය පවසන්නේ කරුණු එසේ වුවද, පාර්ලිමේන්තු වරප්‍රසාද තුළ විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වී ඇති බරපතල චෝදනාවල ස්වභාවය අනුව, එම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා ස්වාධීන හා අපක්ෂපාතී පුද්ගලයින් පත් කළ යුතු බව නීතිඥ සංගමයේ හි අදහස බවයි. තවද, ඉහත කී චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ ඒකාග්‍රතාවයට හානියක් වන අතර, එම චෝදනා පදනම් විරහිත බව පෙනී ගියහොත්, එය අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ අවංකභාවයට හානි කරන තත්වයක් බව ද එම සංගමය පෙන්වා දෙයි.
අවසන් වශයෙන් නීතිඥ සංගමය එම නිවේදනයෙන් දක්වා ඇත්තේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ඇති කැපවීම නැවත අවධාරණය කරන බවත්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන තුළ ක්‍රියා කරන ලෙසත්, ඕනෑම තත්වයක් යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් අදාළ සියලු පාර්ශවවලින් නීතිඥ සංගමය දැඩි ලෙස ඉල්ලා සිටින බවයි.

