ක්‍රීඩා

විවාදය මැද ඩොලර් මිලියන 2ක් ගන්න ක්‍රිකට් ආයතනය දැරූ උත්සාහය ගැන රොෂාන් අනාවරණය කිරීමෙන් පසු ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිචාර

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් වන පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සිය ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහයක් දරමින් සිටින බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළා. එසේම ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් පැවතීම හේතුවෙන් අදාළ බැංකු කළමණාකාරවරයා ඉහළින් උපදෙස් පතා ඇති බවත් ක්‍රිකට් බලධාරීන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිටත් එක් නිලධාරියෙකු ශ්‍රී ලංකාව තුළ නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අමාත්‍යවරයා සමග කතානායක නිල මැදුරට ගොස් ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මාරු කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයන් පැහැදිලි කරමින් නොවැම්බර් 09 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ මුදල තෙවන පාර්ශව ගිණුමක් වෙත මාරු කිරීමට උත්සාහයක් නොගත් බවයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් ගිණුමේ සිට එම මුදල රුපියල් ගිණුම දක්වා මාරු කිරීම අපේක්ෂා කළ බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් හී සාමාන්‍ය ක්‍රමවේදයක් බවත් එම නිවේදනයෙන් ඔවුන් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදු කිරීමටත්, සැපයුම්කරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට සිදුකළ යුතු ගෙවීම් සිදු කිරීම අවශ්‍ය බවත් එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව මෙම වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම USD ගිණුමෙන් එහි දේශීය මුදල් (LKR) ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමේ පුරුද්ද අනුගමනය කරන බව ද එම නිවේදනයෙන් පවසයි.

මේ අතර රුපියල් 10,000ට වැඩි වියදම් මුදලින් කළ නොහැකි බවට වන ප්‍රතිපාදන අනුව තෙවැනි පාර්ශව, උනන්දුවක් දක්වන පාර්ශව ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවා සැපයූ පාර්ශව වෙත 2023 අගෝස්තු මාසයේ සිට නොවැම්බර් 08 දින දක්වා වන කාලයට අදාළව කළ යුතු ගෙවීම්වලට අදාළව චෙක්පත් නිකුත් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්. ඒ අනුව අදාළ ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් සිය ගිණුමේ පැවතීම තහවුරු කිරීම සඳහා මෙලෙස ඩොලර් ගිණුමේ සිට රුපියල් ගිණුම දක්වා මුදල් මාරු කිරීම සිදුකළ බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
To Top