දේශීය පුවත්

online loan මාෆියාකරුවන් නීතිය අල්ලේ නටවන්න යයි

ණය දීමට නීතිමය අනුමැතියකින් තොරව අන්තර්ජාලය හරහා ලබා දෙන ණය ආපසු අය කර ගැනීමේ දී නීතිවිරෝධී, අමානුෂික හා මිලේච්ඡ ක්‍රම භාවිතා කරන බව පසුගියදා අනාවරණය කෙරිණි. ඒ අනුව, පුද්ගලික දත්ත අවභාවිතා කරමින්, අසභ්‍ය වදනින් බැන වදිමින් මැරයින් සේ කටයුතු කරමින් ජනතාව දැඩි අපහසුතාවයට පත් කිරීමට අදාළ ණය දෙන මාෆියාකරුවන් කටයුතු කර තිබුණා.

මේ අතර මහබැංකුව විසින් නිවේදනය කළේ ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවයි. ඒ අනුව, ඒ සඳහා වන පනත් කෙටුම්පතක් ද මේ වනවිට ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ තත්වය උපයෝගී කරගනිමින් ණය ලබා ගත් පිරිස් බිය ගැන්වීම සඳහා නීති කෙටුම්පත් ද අවභාවිතා කිරීමට ඔන්ලයින් ලෝන් මාෆියාකරුවන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, නිවේදන සහ එස්.එම්.එස්. හරහා එම මාෆියාකාර ආයතන දැනුම් දී ඇත්තේ තමන් නව නීතිය යටතේ බලපත්‍ර ලබාගෙන කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි. ඒ අනුව, එලෙස ලියාපදිංචි වීමෙන් පසු ණය ගෙවීම පැහැර හරින්නන්ගේ දත්ත ණය තොරතුරු කාර්යංශයට (CRIB) ලබාදෙන බැවින් වහාම අදාළ ණය පියවීමට කටයුතු කරන ලෙස ඔවුන් නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය ද 100%ක් නීති විරෝධී නිවේදනයක් වන අතර ණය ලබාගත් පිරිස් ඒ අනුව කටයුතු කිරීම අවශ්‍ය නොවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා. යම් ආයතනයක් බලපත්‍ර ලබාගන්නේ නම් ඉටු කළ යුතු අවශ්‍යතා රැසක් පවතින අතර එලෙස ලියාපදිංචිය ලබා ගැනීමෙන් පසු පමණක් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අදාළ ආයතන වෙත අවසර හිමිවනු ඇති බව නීතිඥවරුන් පෙන්වා දෙනවා.

එහිදී කිසිවිටෙක පැරණි ගණුදෙනු CRIB වෙත ලබා දීමට හැකියාවක් නොලැබෙන අතර එවැනි අනීතික ගිවිසුම් නීතිය මගින් බලාත්මක කිරීමට කිසිවිටෙක අවස්ථාව හිමි නොවන බව ද නීතිඥවරුන් පෙන්වා දෙනවා.

එසේම අදාළ ආයතනවලින් සිදුවන්නේ ණය පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවත්, ණය ලබාදෙන ආයතන නිසි පරිදි නියාමනයට ලක් කෙරෙන බවත්, ඉන් පසු අධිකරණ මාර්ගයෙන් මිස අන් කිසි ලෙසකින් එවැනි ණය ආපසු අය කර ගැනීමට අදාළ ක්‍රමවේදය ඔස්සේ බලපත්‍ර ලබාගන්නා ආයතන වෙත අවසර හිමි නොවන බවත් නීතිඥවරුන් පෙන්වා දෙනවා.

මාෆියාකරුවන්ට බලපත්‍ර ලබා ගත හැකිද?

දැනට ක්‍රියාත්මක වන ණය ලබා දෙන ආයතන අදාළ පනත් කෙටුම්පත සම්මත පිහිටුවීමෙන් පසු ලියාපදිංචිය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එහිදී එම ආයතනවලට ලියාපදිංචිය ලබා නොදෙන ලෙස කරුණු සහිතව ඉල්ලීම් කිරීමට ණය ලබාගෙන සිටින පුද්ගලයින්ට හැකියාව ලැබෙන බවත්, යම් හෙයකින් ඡායාරූප අවභාවිතා කිරීම, පුද්ගලික දත්ත අවභාවිත කිරීම, තර්ජනය කිරීම වැනි අපරාධ වැරදි සිදුකරන ලද ආයතන වෙත විරෝධතා නොසළකා ලියාපදිංචිය ලබා දීමට අදාළ නියාමන අධිකාරිය කටයුතු කරන්නේ නම් අගතියට පත් පාර්ශව සඳහා අධිකරණය වෙත ගොස් එලෙස ලියාපදිංචිය ලබා දීම නතර කර ගත හැකි බවත් නීතිඥවරු පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම, ලියාපදිංචියට පෙර ලබාදුන් ණය ආපසු අය කර ගැනීමට අලුතින් ලියාපදිංචි වන ආයතන වෙත කිසිඳු අවසරයක් හිමි නොවනු ඇති බව ද නීතිඥවරුන් පෙන්වා දෙනවා.

දැනට එවැනි නීතිවිරෝධී ආයතනවලින් ණය ලබාගත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ආයතනයකින් ලබාගත් ණය මුදලක් ආපසු අය කර ගැනීමට නීති විරෝධී ආකාරයෙන් යම් ආයතනයක් කටයුතු කරන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, වංචා විමර්ශන කොට්ඨාශයටත් පැමිණිලි කරන ලෙසයි. යම් හෙයකින් පොලිසිය මගින් අදාළ විමර්ශන නිසි පරිදි සිදුනොකරන්නේ නම් පුද්ගලිකව මහේස්ත්‍රාත් අධිකරණයක පුද්ගලික පැමිණිල්ලක් යොමු කිරීමට ද හැකියාව පවතින බව නීතිඥවරුන් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top