දේශීය පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමෙන් පෞද්ගලික අංශයේ වැටුප් ද ඉහළ යනවා, වැටුප් කතාවේ ඇත්ත මෙන්න

අද (නොවැම්බර් 13) දින ඉදිරිපත් කරන 2024 අයවැය යෝජනා තුළින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ එය සැළකිය යුතු තරමේ වැටුප් වැඩි වීමක් නොවනු ඇති බවයි. වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් යනු රටට බරක් යැයි මතයක් සමාජගත කර තිබෙන බව පෙන්වා දෙන ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ රාජ්‍ය සේවය විධිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. එහෙත් රාජ්‍ය සේවක වැටුප් යනු රටට බරක් නොවන බවත්, එයින් රටේ ආර්ථික ප්‍රතිපත්ති නිරූපනය කෙරෙන ප්‍රධාන සාධකයක් බව ද ඔවුන් පවසනවා. රාජ්‍ය සේවක වැටුප් යනු අයවැය යෝජනා තුළින් ඉහළ දැමිය යුතු ප්‍රතිපත්තියක් නොවන බවත්, රටකට ස්ථිර වැටුප් ප්‍රතිපත්තියක් පැවතිය යුතු බවත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

දැනට ඇති තත්වය අනුව, රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ දී ඊට සාපේක්ෂව පෞද්ගලික අංශය ද වැටුප් ඉහළ දමන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එබැවින් මේ අවස්ථාවේ දී ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන තෙක් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් පවසනවා.

රටට ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර වැටුප ස්වයංක්‍රීයව ඉහළ යන ක්‍රමවේදයක් සකස් විය යුතු බවත්, සියලු ක්ෂේත්‍රවලට හිමිවන වැටුප් පිළිබඳ රජයේ ප්‍රතිපත්තියක් පැවතීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඊට රජයේ ද පෞද්ගලික ද යන්න අදාළ විය යුතු නැති බව ද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

උදාහරණයක් වශයෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙකුට හිමි වැටුප අවම වශයෙන් පැයකට/දිනකට හෝ මාසයකට ලෙස දැක්වීම වඩාත් සුදුසු ක්‍රමවේදය බව ඔවුන්ගේ අදහසයි. එහිදී උදාහරණයක් වශයෙන් ඉහත කී තනතුරකට අදාළව පැයකට අවම වශයෙන් රුපියල් 400ක වැටුපක් ලබා දීම ජාතික ප්‍රතිපත්තිය වන්නේ නම් එවැනි අයෙකු දිනකට පැය 8ක් සේවය කළහොත් රුපියල් 3,200ක වැටුපක් ලබන බවත්, මසකට දින 20ක් සේවය කළහොත් රුපියල් 64,000ක වැටුපක් ලබන බව මේ ක්‍රමය ඔස්සේ තහවුරු වේ. එහිදී නිවාඩු දිනයක වැඩ කිරීමේ දී සාමාන්‍ය පැයක වැටුප මෙන් දෙගුණයක් ලෙසත්, රාජකාරි වේලාවෙන් පසු වැඩ කිරීමේ දී අතිරේක පැයකට සාමාන්‍ය පැයක වැටුපෙන් 1/2ක් ලෙසත් ගෙවිය යුතු ලෙස ප්‍රතිපත්තිය සකස් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙලෙස සියලු ක්ෂේත්‍ර සඳහා වැටුප් ක්‍රමයක් සකස් කිරීම සිදුවිය යුතු බවත්, එහිදී එය අවම වැටුප ලෙස ක්‍රියාත්මක වන බවත්, මේ හරහා වැටුප් විෂමතා ඉවත් කරගත හැකි බවත් ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top