ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැනට දරන අමාත්‍යවලින් ඉවත් කිරීමට නියමිත ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයාම සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ද රාවයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් හී දූෂණ වංචාවලට එරෙහිව අමාත්‍ය රොෂාන් රණසිංහ ගෙන යනු ලබන දූෂණ විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ආණ්ඩුව ඇතුළතින්ම එක් පිරිසක් විරෝධය පළ කරමින් කටයුතු කරන්නේ ඉහළින් ලැබෙන ආශිර්වාදය මත බවයි.
කෙසේ වෙතත් රොෂාන් රණසිංහ අමාත්‍යධූරයෙන් ඉවත් කළහොත් ඔහුත් සමග අමාත්‍යවරුන් ඇතුළු 17 දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමක් පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මේ අතර ක්‍රිකට් අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කෙරෙන තත්වයක් ද මතු කරමින් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ 2024 අයවැය යෝජනා පරාජය කිරීම සඳහා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට විපක්ෂය සූදානමින් සිටින බවයි.
පොහොට්ටුවේ බහුතරය අහිමි වීම
ක්‍රිකට් අර්බුදය සහ ජනාධිපතිවරයා දිගින් දිගටම පොහොට්ටුවේ අමාත්‍යවරුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. පසුගිය අරගලයත් සමග ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂයේ අසුන් ගැනීමත් සමග 2/3කට ආසන්න බලයක් තිබූ ආණ්ඩු පක්ෂ 134 දක්වා පහත වැටුනි. ඉන් පසුව ද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම විපක්ෂය සමග අසුන් ගැනීමත්, නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධූරය අහිමි වීමත් ඇතුළු කරුණු හේතුවෙන් පොහොට්ටුවේ බහුතරය 113 ආසන්නයටම පැමිණ තිබෙනවා.
ඒ අනුව, යම් හෙයකින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද, ඔහුත් සමග තවත් පිරිසක් ද පොහොට්ටුව හැරගොස් විපක්ෂයේ අසුන්ගතහොත් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී යාමේ විශාල අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා.

