රුපියල් කෝටියක අල්ලස් චෝදනාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද නියම කළේය.
රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කෙරුණා. සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඇප නියම කළේය. මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අල්ලස් ගත් බවට ප්‍රමාණවත් කරුණු ඔහුට එරෙහිව නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේය.
කෙසේ වෙතත්, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අනෙක් සැකකරුවන් දෙදෙනා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල සහ ටෙනිසන් ෆොන්සේකා නොවැම්බර් 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
දැවි තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පාරිසරික නිෂ්කාශන බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් මිලියන 10ක් අල්ලස් මුදලක් ඉල්ලීමට අදාළව මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී රාජගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් තුළ සිටි අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් භාණ්ඩ ලබා ගැනීම සඳහා භාවිතා කරන රැඳවුමක් තබාගෙන සිට ඇති අතර අනෙක් පුද්ගලයා මුදල් ගෙවීමේ ස්ථානය අසළ සිට ඇති බවත්, අල්ලස් කොමිසමේ නිලධාරීන් සමග ගිය පැමිණිලිකරු විසින් මුදල් බෑගය එක් සැකකරුවෙකු ළඟ තිබූ භාණ්ඩ රඳවනයට දැමීමත් සමග සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්, පසුව පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ නිල කාමරයේ දී සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වී තිබේ.

