ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඕස්ට්‍රේලියාවේ පැවති ටී 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව තෝරාගත් මාධ්‍ය ආයතන 4ක මාධ්‍යවේදීන් සිව් දෙනෙකු සඳහා රුපියල් මිලියන 5.5ක් වියදම් කර පිටත් කර ඇති බව නොවැම්බර් 14 දින පැවති කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.
කෝප් කමිටු සාමාජිකයින් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේ තමන් වෙතින් ඉල්ලීම් කරන ලද මාධ්‍ය ආයතන අතුරින් සිව් දෙනෙකු මෙලෙස තෝරාගෙන ඇති බවයි.
ඒ අනුව, අනුර කුමාර දිසානායක ඉල්ලා සිටියේ අදාළ මාධ්‍යවේදීන්ගේ ආයතන සහ නම් ප්‍රකාශ කරන ලෙසයි. ඒ අනුව අනාවරණය වූයේ විජයපුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී සාධි එම්. තව්ෆික්, සිලෝන් නිවුස් පේපර්ස් ලිමිටඩ් හී මව්බිම පුවත්පත වෙනුවෙන් විචිත්‍ර වීරසිංහ, ලිබර්ටි පබ්ලිෂර්ස් හී සතිඅග අරුණ වෙනුවෙන් ඉන්ද්‍රජිත් සුබසිංහ හා පවර්හවුස් ලිමිටඩ් හී අද දෙරණ වෙනුවෙන් අසංක ද සිල්වා යන මාධ්‍යවේදීන් තෝරාගෙන ඇති බව අනාවරණය කෙරිණි.
මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේ ක්‍රීඩා ආවරණ සිදු කරන්නේ දිනපතා පුවත්පත් තුළ බවත්, ඉරිදා පුවත්පත් තුළ ඇතුළත් වන්නේ විවේචන සහ විග්‍රහ ඇතුළත් විශේෂාංග බවයි. එහිදී ඉරිදා පුවත්පතක් තෝරාගැනීමෙන් තමන් ගැන හොඳ ලියා ගැනීම හෝ විවේචන සීමා කර ගැනීම අපේක්ෂාව වී ඇති බව හැඟී යන බව ද අනුර කුමාර දිසානායක සඳහන් කළා.
කෙසේ වෙතත් මේ අවස්ථාව රජයේ මාධ්‍ය ආයතන වන ලේක්හවුස් සමාගම, ජාතික රූපවාහිනිය හෝ අයිටීඑන් වෙත හිමි වී නොමැති වීම ද විශේෂත්වයකි. එමෙන්ම ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය ඉල්ලීම් කර තිබුණ ද එම ඉල්ලීම් විධායක කමිටු රැස්වීමෙන් පසු ලැබුණු බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර ඇති බව ද අනාවරණය විය.

