දේශීය පුවත්

උපරිමාධිකරණ සංකීර්ණය අසල වාහන අමතර කොටස් සොරුන්ගේ පාරාදීසයක් වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ රැසක් පිහිටි කොළඹ 12 අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ප්‍රදේශය වාහන අමතර කොටස් සොරා ගන්නා සොරුන්ගේ පාරාදීසයක් වී ඇති බවට නීතිඥවරු පවසනවා. දැනට බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වන මෙම සොරකම් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඇති රථ ගාල් ඇතුළු අවට පිහිටි රථ ගාල් තුළ නවතා තැබෙන රථවාහන දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව තිබෙනවා.

අධිආරක්ෂිත කලාපයක් ද වන මෙම කලාපය කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ප්‍රදේශයේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් ද රාජකාරියේ නිරත වී සිටින අයුරු ද නිරීක්ෂණය කළ හැක. කෙසේ නමුත් දිගින් දිගටම සිදුවන සොරකම් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට පැමිණිලි ගලා ආවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ සොරකම් පාලනය කිරීමට පොලිසිය අසමත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමක දී පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ නිල ඇදුමෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් රාජකාරි කරන නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් ද එම ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටින බවයි.

මෙම වාහන අමතර කොටස් සොරුන් විසින් මේ වනවිට අධිකරණ විනිසුරුවරුන්ගේ රථ, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රථ, අධිකරණ නිලධාරීන්ගේ රථ හා නීතිඥවරුන්ගේ රථ ඇතුළු සියළුම වර්ගයේ රථවල පැති කණ්ණාඩි, වාහන වර්ග සහිත ලාංඡන වැඩි වශයෙන් සොරා ගැනීම සිදුකරමින් සිටින අතර ඒවා සොරා ගැනීමේ වාහනවලට දැඩි අලාභ හානි සිදුකර ඇති අවස්ථා ද වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඇති රථගාලේ වාහන නැවැත්වීම සඳහා නීතිඥවරුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ආරක්ෂක අංශ විසින් මුදල් ද අය කරන බවත්, එලෙස මුදල් අය කිරීමක් සිදුකළ ද වාහනවල ආරක්ෂාව වෙනුවෙන් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි. එසේම මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය, කොළඹ නීතිඥ  සංගමය ඇතුළු ස්ථාන වෙත ද පැමිණිලි කර තිබුණත් සිය සාමාජිකයින්ගේ වාහනවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් ද කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top