2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වා දකුණු අප්‍රිකාවට මාරු කිරීමට ICCය අඟහරුවාදා (21) තීරණය කළේය. ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තාවකාලිකව අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හී ICC සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ICC හී විධායක කමිටුව විසින් ස්ථිර කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ අත්හිටුවීම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෛනික ක්‍රියාවලියට ක්ෂණික බලපෑමක් ඇති නොකරනු ඇති බවත් ඕනෑම ද්විපාර්ශ්වික සහ දේශීය තරඟාවලි ඇතුළුව සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මෙම අත්හිටුවීමෙන් බාධාවක් නොවන බවට ICC මණ්ඩලය එකඟ වූ බව ද ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව ICC වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත වාර්ෂික ලැබෙන අරමුදල් සම්බන්ධයෙන් මෙම අත්හිටුවීම බලපාන බවත්, අත්හිටුවීම ඉවත්වන තෙක් එම අරමුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මුදා නොහැරෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙය තරඟ සඳහා ලැබෙන මුදල් සඳහා අදාළ නොවීම හේතුවෙන් ක්‍රීඩකයින්ට තරඟ සඳහා ගෙවීම් සිදුකිරීමට ද බාධාවක් නොවනු ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ICCය තහවුරු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සවන් දීමෙන් අනතුරුව තරඟාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යාම තහවුරු කරන ලද බවයි. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන යැයි සඳහන් කර ඇත්තේ දැනට ගැසට් පත්‍රයක් මගින් අත්හිටුවා ඇති ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට සවන් දීමයි.

