ශ්‍රී ලාංකික කලාකරුවන් ඇතුළු පිරිසක් කුවේටයේ දී අත්අඩංගුවට, 24ක් නිදහස් කර ගනී
කුවේට් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ කලාකරුවන්, සංවිධායකයින් ඇතුළු 26 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ වෙතත් මෙරට තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට ගත් පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ගැනීමට හැකි වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අගෝස්තු 02 දින “එතෙර අපි සංවිධානයේ” කුවේට් ශාඛාව විසින් අබ්බාසියා සෙන්ට්‍රල් ස්කූල් හී දී පැවැත්වීමට නියමිතව තිබී පසුව කේතාන් කාමල් ස්කූල් හී සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකන් සමර් නයිට්ස්” ප්‍රසංගයට සහභාගී වූ පිරිසක් බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගැනුණු කලාකරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුගෙන් 24 දෙනෙකු නිදහස් කර ගැනීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ නිසි පරිදි අවසර ලබා ගැනීමෙන් තොරව ප්‍රසංගය සංවිධානය කිරීම හේතුවෙනි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්ද්‍රචාප ලියනගේ, සමනලී ෆොන්සේකා, උපේකා නිර්මාණී, ජොලි සියා ඇතුළු පිරිසක් සිටි බව ආරංචි මාර්ග පවසනවා. නමුත් එම ප්‍රසංගය සඳහා නිසි පරිදි අවසර ගෙන නොමැති බව ඔවුන් විසින් දැන සිට නොමැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත්, සංගීත ප්‍රසංගය සංවිධාන කළ පුද්ගලයින් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ සිටින අතර ඔවුන්ට විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවිය හැකි බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.