2024 Presidential ElectionHighlightsNewsPoliticsTop Stories

2024 ජනපති සටනට එන ප්‍රබලයෝ

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් මේ වනවිට සිය අභිලාෂය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතරින් බොහෝ පිරිසක් මේ වනවිටත් ජනාධිපතිවරණය ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කර ඇති අතර අනෙක් පිරිස සිය අභිලාෂය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇප තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් වූ පසු ප්‍රථමයෙන්ම ඇප තැන්පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. 1949 මාර්තු මස 24 වැනිදා උපත ලබා ඇති රනිල් වික්‍රමසිංහ මේ වනවිට 75 වැනි වියේ පසුවෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1972 වසරේ දී නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද ඉතාමත් කෙටිකාලයක් තුළ දේශපාලනයට පිවිස 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් දිනාගත් ඔහු එම වසරේ දී ම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිය මාමා වන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් පත් කරන ලදී. ඉන්පසු යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස පත් වූ ඔහු සැළකෙන්නේ ඒ වනවිට කැබිනට් අමාත්‍යධූරයකට පත් වූ ලාබාලතම තැනැත්තා ලෙසයි. 1994 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන රනිල් වික්‍රමසිංහ පසුව අවස්ථා ගණනාවක දී අග්‍රාමාත්‍යධූරයත්, විපක්ෂ නායකධූරයත් දරා ඇති අතර 2020 මහමැතිවරණයේ දී පරාජයට පත් විය. එහෙත් සිය පක්ෂය වෙනුවෙන් 1ක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමි වී තිබීමත් සමග ඒ හරහා පාර්ලිමේන්තුවට යළිත් වරක් පැමිණි ඔහු අරගලයත් සමග අග්‍රාමාත්‍යධූරයටත් පසුව ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග ජනාධිපතිධූරයටත් පත් විය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් මේ වනවිට විපක්ෂ නායකධූරය දරන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 1967 ජනවාරි මස 12 වැනිදා උපත ලද සජිත් ප්‍රේමදාස මේ වනවිට 57 වැනි වියේ පසුවනවා. 2000 වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු වරම් දිනාගත් සජිත් ප්‍රේමදාස 2001 වසරේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලදී. 2011 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් වූ ඔහු 2015 වසරේ දී නිවාස අමාත්‍යවරයා ලෙස පළමු වරට කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කරන ලදී. 2019 වසරේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ගෝඨාභය රාජපක්ෂට පරාජය වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය ගොඩනගමින් 2020 මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරයට පත්විය.

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින්නේ එහි නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යි. 1968 වසරේ නොවැම්බර් 24 වැනිදා උපත ලද ඔහු මේ වනවිට 55 වැනි වියේ පසුවෙයි. පාසැල් සමයේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු සමග සම්බන්ධ වී ඇති ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවත් පසුව ඇති වූ තත්වයන් හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1995 වසරේ දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කර ඇත. 1987 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ සමග පූර්ණ කාලීනව දේශපාලනය ආරම්භ කළ අනුර කුමාර දිසානායක 1995 වසරේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්ව ඇති අතර 1998 වසරේ දී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට එක් වී තිබේ. 2000 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පැවති මහමැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසීමෙන් අනතුරුව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. එහෙත් 2005 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ එම ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග අනුර කුමාර දිසානායක ද එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 2014 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වූ ඔහු 2019 වසරේ දී ජනාධිපතිවරණයට පෙර ජාතික ජනබලවේගය නමින් සිවිල් සංවිධාන කිහිපයක් සමග එක්ව නව දේශපාලන බලවේගයක් ගොඩනැගූ අතර ජනාධිපතිවරණයට ඉදිිරිපත්ව තුන්වැනි තැනට වැඩිම ඡන්ද ලබා ගැනීමට සමත් විය. ඉන්පසු 2020 මහමැතිවරණයේ දී යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අනතුරු 2024 ජනාධිපතිවරණයේ වඩාත් කැපී පෙනෙන අපේක්ෂකයා බවට පත්ව සිටී.

2024 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යි. 1986 වසරේ අප්‍රෙල් 10 වැනිදා උපත ලබා ඇති ඔහු මේ වනවිට 38 වැනි වියේ පසුවෙයි. ඔහු මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලාබාලතම අපේක්ෂකයා බව ද වාර්තා වේ. ලංඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හැදෑරීමෙන් අනතුරුව 2011 වසරේ දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. 2010 වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එතැන් සිට අද වනතෙක් පැවති සෑම පාර්ලිමේන්තුවක්ම නියෝජනය කර ඇත. 2020 මහමැතිවරණයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කරන ලදී. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එල්ල වූ බරපතල විරෝධය හමුවේ 2022 වසරේ දී එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නාමල් රාජපක්ෂ තීරණය කළ අතර 2024 මහමැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට විරෝධය දැක්වූ ප්‍රධානතම පුද්ගලයා ලෙස ද සඳහන් වේ. ඒ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සහ පොහොට්ටුවේ ප්‍රතිපත්ති අතර පවතින බරපතල වෙනස්කම් හේතුවෙන් බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *