පක්ෂයේ තීරණයට එරෙහිව යමින් රනිල්ට සහාය දුන්නට දැන්ම විනය පියවර ගන්නේ නෑ – පොහොට්ටු ලේකම්
පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 100කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව මේ අවස්ථාවේ විනය පියවර නොගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ය.
ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණයේ දී තීරණයක් ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණේ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පියවර ගෙන ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යි. නමුත් මේ වනවිට මහලේකම්වරයා පවසන්නේ පාර්ලිමේන්තුව පවතින්නේ තවත් මාස දෙකක කාලයක් පමණක් බවත්, මෙම කාලය තුළදී මන්ත්‍රිවරුන්ට විනය පියවර ගත්තත් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට එම මන්ත්‍රීවරුන් යන බවත්, ඒ අනුව තීන්දුවක් ලැබීමට තවත් කාලයක් ගතවනු ඇති බවත්ය.
එබැවින් මේ මොහොතේ තමන් වැඩි වශයෙන් අවධානය යොමු කොට ඇත්තේ පක්ෂයේ අපේක්ෂකයා දිනවීමට බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. අවම වශයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ලිපි හෝ නිකුත් කර නොමැති බව ද මහලේකම්වරයා අනාවරණය කර සිටියා.
මේ අතර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 9ක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසක් තවමත් පක්ෂයත් සමග රැඳී සිටින බව එම පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් රිවිර.lk වෙත සඳහන් කළේ ය. රාජ්‍ය අමාත්‍යවරුන් වන මොණරාගල දිස්ත්‍රික් පා.ම. ශෂීන්ද්‍ර රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ හා ප්‍රසන්න රණවීර, ගාල්ල දිස්ත්‍රික් පා.ම. මොහාන් ද සිල්වා, පොළොන්නරුව දිස්ත්‍රික් පා.ම. සිරිපාල ගම්ලත්, පුත්තලම දිස්ත්‍රික් පා.ම. අශෝක ප්‍රියන්ත, බදුල්ල දිස්ත්‍රික් පා.ම. තේනුක විදානගමගේ හා හම්බන්තොට දිස්ත්‍රික් පා.ම. ඩී.වී. චානක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස රැඳී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.