හරීන්ගෙන් හිස්වූ මන්ත්‍රීධූරය හිරුණිකාට දෙනවට මාධ්‍ය ආයතනයකින් ප්‍රබල විරෝධයක්, මන්ත්‍රීධූරය අජිත්ට, සුජීවට හෝ එරන්දට!
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ මනුෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීධුරය සඳහා ගාල්ල මනාප ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ පත්වීමට නියමිතයි. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට හැකිවනු ඇත.
කෙසේ වෙතත් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව ධූරය අහිමි වූ හරින් ප්‍රනාන්දුගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා සුදුසු අයෙකු තෝරාගැනීම මේ වනවිට අර්බුදයක් දක්වා ගමන් කරමින් ඇති බව සමගි ජනබලවේග ආරංචි මාර්ග පවසනවා. ඒ 2020 මහමැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කළ යුතු බවට පිරිසක් විසින් යෝජනා කර තිබුණ ද මාධ්‍ය ආයතනයක් ප්රමුඛ කණ්ඩායමක් විසින් ඊට දැඩි විරෝධයක් පළ කර තිබෙන පසුබිමක බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මහාධිකරණය මගින් වරදකරුවෙකු ලෙස තීරණය කර ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අයෙකුට අදාළ මන්ත්‍රීධූරය ලබා දීමට එවැනි තීරණයක් ගන්නේ නම් තමන්ගේ සහාය අහිමි වන බව අදාළ මාධ්‍ය ආයතනය විසින් දන්වා ඇති බව ද සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ සුජීව සේනසිංහ සහ එරන්ද වැලිඅංග සහ කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ අජිත් පී. පෙරේරා යන අයගේ නම් ද යෝජනා වී ඇති අතර තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ පක්ෂයේ සංවිධාන කටයුතු සඳහා සහායක් ලබාගත හැකි පුද්ගලයෙකු ඊට පත් කළ යුතු බවටයි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමන්ට ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. නමුත් තමන් එවැනි ඉල්ලීමක් සිදුකර නැති බව ද ඇය ප්‍රකාශ කර සිටියා.