මදුෂාන් පත්තරේ විස්තරේ මැද කළ ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට මනුෂගෙන් පැමිණිල්ලක්
හිරු රූපවාහිනි නාලිකාව විසින් විකාශනය කරන ”පත්තරේ විස්තරේ” වැඩසටහන අතරතුර තමා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බවත්, එමගින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අගෝස්තු 11 දිනැතිව යොමු කර ඇති අදාළ පැමිණිල්ල මගින් අගෝස්තු 10 සෙනසුරාදා දින විකාශය කළ වැඩසටහන සම්බන්ධයෙන් අදාළ චෝදනාව ඉදිරිපත් කර තිබෙනවා.
එම වැඩසටහන ඉදිරිපත් කිරීමේ දී එහි පූරක ලෙස කටයුතු කළ මාධ්‍යවේදී මධුෂාන් ද සිල්වා යන අය ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් බලාත්මක කර ඇති 2023.01.04 දිනැති සහ අංක 2313/33 දරණ ගැසට් නිවේදනයෙන් දක්වා ඇති උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා වන උපමාණ ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව හිටපු අමාත්‍යවරයා එම පැමිල්ලෙන් පෙන්වා දී තිබෙනවා.
එබැවින් එකී මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට බරපතල අපහාසයක් සිදුකර ඇති බැවින් මැතිවරණ නීති ප්‍රකාරව කඩිනම් පියවර ගන්නා ලෙස මනූෂ නානායක්කාර මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
හිටපු මාධ්‍යවේදියෙකු ද වන මනූෂ නානායක්කාර තම පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම වැඩසටහන මගින් හිරු නාළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික මාධ්‍ය ආචාරධර්ම පවා බරපතල ලෙස උල්ලංඝනය කර අති බවයි.