මැතිවරණ කොමිසම හිරුව කොනිත්තයි, මාධ්‍ය උපමානත් එක්ක ලිපියක් යවලා
හිරු මාධ්‍ය ජාලය මගින් විකාශය වන වැඩසටහන් තුළින් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම විසින් හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාට පිටපත් සහිතව අගෝස්තු 13 දිනැතිව හා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් යොමු කර ඇති අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබිය දී හිරු මාධ්‍ය ජාලය විසින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024.07.27 දිනැතිව නිකුත් කරන ලද අංක 2394/57 දරන ගැසට් නිවේදනයේ සඳහන් මාධ්‍ය උපමානවලට පටහැනිව විවිධ වැඩසටහන් විකාශය කරන බවට පැමිණිලි රාශියක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.
ඒ අතර, 2024.08.06, 2024.08.07 සහ 2024.08.08 (උදෑසන 6.25ට විකාශය වන පත්තරේ විස්තරේ) වැඩසටහන් ඉදිරිපත් කරමින් අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම, මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට නොගැලපෙන හා දැඩි පක්ෂපාතීත්වයෙන් යුතුව එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයට අදහස් දැක්වීම හා පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව එහි සඳහන් කර තිබේ.
එසේම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන නිකුත් කර ඇති බවත්, එකී උපමාන මගින් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත කාල සීමාවේ දී විද්‍යුත් මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දක්වා ඇති බවත්, ඊට අදාළ ගැසට් නිවේදනයන් අනුව ගුවන් විදුලි, රූපවාහිනී ඇතුළු ඕනෑම මාධ්‍ය හෝ හරහා සිදුකරන ප්‍රකාශන/වැඩසටහන් ඡන්ද විමසීම් නීතිවලට අනුකූල විය යුතු බවත්, එක් පක්ෂයක්/අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමෙන් අනෙකුත් අපේක්ෂකයින් අගතියට පත් නොවන ලෙස තම ගුවන් කාලය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මගපෙන්වීමක් පැහැදිලිව දක්වා ඇති බව එම ලිපියෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව, මාධ්‍ය ආයතනය විසින් ඉහත පැමිණිලිවල දැක්වෙන ආකාරයේ වැඩසටහන් විකාශය කිරීමක් සිදුකරන්නේ නම් එය පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලය අවභාවිතා කිරීමක් වන අතර, එමගින් ඡන්ද විමසීම අතරතුර බලපැවැත්වෙන නීති උල්ලංඝනය කිරීමක් වන බව ද එම ලිපියෙන් අවධාරණය කර තිබේ. එබැවින් ඉදිරියේ දී මෙවැනි පැමිණිලි ඉදිරිපත් නොවන ආකාරයට සංඛ්‍යාත හා ගුවන් කාලය භාවිතා කරන ලෙස ද අදාළ ලිපියෙන් දැනුම් දී ඇති අතර ඔවුන්ගේ දැන ගැනීම සඳහා අදාළ මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදන ද එම ලිපිය සමග යොමු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.
මෙලෙස යොමු කළ ලිපිය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.