2024 Presidential ElectionNewsPoliticsTop Stories

අනුර, නාමල්, රනිල්, සජිත් ඇතුළු 30කට අධික පිරිසක් නාමයෝජනා බාර දී අවසන්, නවතම තොරතුරු මෙන්න

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා බාරගැනීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටී.

මැතිවරණ කොමිසම සඳහන් කළේ උදෑසන 9ට ආරම්භ වූ නාම යෝජනා බාර දීම පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරෙන බවයි. මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ පෙරවරු 10.30 වනවිට අපේක්ෂකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් නාම යෝජනා බාර දී ඇති බවයි. මේ වනවිට, ජාතික ජනබලවේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, ස්වාධින අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ හා සමගි ජනබලවේගය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් නාම යෝජනා බාර දී තිබේ.

ඉදිරිපත් වන නාම යෝජනාවලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති අතර වෙනත් අපේක්ෂකයෙකුට හෝ ඔහුගේ නියෝජිතයාට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

එසේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන පුද්ගලයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අගෝස්තු 14 දහවල් 12.00න් අවසන් වූ අතර එම කාලය තුළ අපේක්ෂකයින් 40 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

නාමයෝජනා බාරගැනීමේ කටයුතුවලින් පසු ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණය සඳහා තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කිරීම සිදුකරනු ඇත.

නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම සිදුකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *