2024 Presidential ElectionPolitics

හිරු පත්තරේ කියවන චමුදිතගෙන් අදත් අනුරට, රනිල්ට හා නාමල්ට අගතිදායී ප්‍රකාශ

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන කාල සීමාව තුළ එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කොට එම අපේක්ෂකයාට අභියෝගයක් වී සිටින අපේක්ෂකයින්ට අගතියක් සිදුවන ආකාරයෙන් කටයුතු කිරීමට හිරු නාලිකාව සහ එහි උදෑසන පුවත්පත් වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම ක්‍රියාකරමින් සිටින බවට බරපතල චෝදනා එල්ල වී තිබෙනවා.

අගෝස්තු 20 දින උදෑසන විකාශය කළ “පත්තරේ විස්තරේ” වැඩසටහන තුළින් ද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඉතාමත් බරපතල අගතිදායක ප්‍රකාශ කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. මෙම කාලසීමාව තුළ අනුගමනය කළ යුතු ආචාරධර්ම ඇතුළත් මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන පසුබිමක සහ හිරු නාලිකාවට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හිරු නාලිකාව වෙත මෙම මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් සිහිපත් කිරීමට ද කටයුතු කර තිබු පසුබිමක මෙලෙස අඛණ්ඩව මැතිවරණ නීති උල්ලංඝනය කරන බව ද එම නිරීක්ෂකයින් පවසනවා. මැතිවරණ නීතිවලටත් පෙර අවම මාධ්‍ය සදාචාර සීමාවන් හෝ නොසළකා ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත ආකාරයෙන් එම නාලිකාව කටයුතු කරමින් සිටින බව පෙන්වන ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ එම ක්‍රියාකලාපය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බරපතල බාධාවක් වී ඇති බවයි.

මේ අතර, මෙම අඛණ්ඩ මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් නැවතත් පැමිණිලි කිරීමට පාර්ශව රැසක් පියවර ගෙන ඇති අතර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගන්නේ නම් අධිකරණය හමුවේ කොමිසමට එරෙහිව නඩු පැවරීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *