2024 Presidential ElectionNewsPoliticsTop Stories

එක් ඡන්දයට වියදම් කළ හැක්කේ රු.109යි, අපේක්ෂකයෙකුට කෝටි 186ක වියදම් සීමාවක්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අගෝස්තු 19 රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අංක 2397/66 දරන හා අගෝස්තු 16 දිනැති අදාළ ගැසට් නිවේදනය මගින් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර ඇත්තේ එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109ක් බවයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස පවත්වනු ලබන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන සියළුම පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන්, වෙනත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්, ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයන් සඳහා 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මෙකී ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර, අදහස් වීමසීමෙන් අනතුරුව එකී ඡන්ද විමසීමේ දී, තරග කරන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාරව කටයුතු වෙනුවෙන් අපේක්‍ෂකයෙකු විසින් වැය කළ යුතු වියදම් සීමා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලදුව ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා තරග කරන එක් එක් අපේක්ෂකයකු විසින් වලංගු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 109.00 කට (රුපියල් එකසිය නවයකට) නොවැඩි මුදලක් බැගින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස 2024 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළව වැය කළ හැකිය. ඒ අනුව වියදම් කළ හැකි උපරිම වියදම් සීමාව රුපියල් 1,868,298,586.00 (එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක්) වේ.

මෙම ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකුට එකී මුදලින් 60% ක් හෙවත් රුපියල් 1,120,979,151.60 (රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක්) මුදලින් තම ප්‍රචාරණ වියදම් ලෙස දැරිය හැකි ය. එසේම, එම අපේක්ෂකයා ඉදිරිපත් කරන පක්ෂයේ ලේකම්වරයා හෝ ඡන්ද හිමියා හට එකී මුළු මුදලින් 40% ක් හෙවත් රු 747,319,434.40 (රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් හාරසිය තිස් හතරයි ශත හතළිහක) මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැය කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *