ITAK සහාය සජිත්ට නොවේ, සුමන්තිරන් කළ ප්‍රකාශය පක්ෂයේ නිල මතය නොවේ – ITAK හී මාවෙයි සේනාධිරාජා
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පිරිසක් වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී සැප්තැම්බර් 01 දින රැස්වී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ගත් බව කියන තීරණය තම පක්ෂයේ නිල මතය නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
අද සවස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට පළ කිරීමට තීරණය කළ බවයි. එසේම දෙමළ පොදු අපේක්ෂකයාට සහාය නොදීමටත් ඔහුට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ එවැනි තීරණයක් ගැනීමට පක්ෂය විසින් රැස්වීමක් පවත්වන බවක් හෝ තමන් නොදන්නා බවයි. එබැවින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.
එසේම සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට ගත් තීරණය පොදු තීරණයක් නොව දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් බව ද සේනාධිරාජා කියා සිටියේය. එසේම එම්.ඒ. සුමන්තිරන් පරාජය කර ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකධූරයට පත් වූ එස්. ශ්‍රීධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයින් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නොමැති බව ද මාවෙයි සේනාධිරාජා තහවුරු කර සිටියේය.