ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙදරයි, සභාපති නවරත්නට ඉල්ලා අස්වන්නැයි නීතිඥ සභාව දැනුම් දෙයි
දූෂණෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා ‘ජයිකා’ ආයතනයෙන් ලැබුණු රුපියල් කෝටි 2.4කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් සහ එම ව්‍යපෘතියට අදාළව කටයුතු කළ ආකාරය විනිවිද භාවයකින් තොරව සිදුව ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඇතුළු නිලධාරීන් 3 දෙනෙකුට සහ කණිෂ්ඨ නීතිඥවරුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත සභාපති කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු නිලධාරීන් සිය ධූරවලින් ඉවත්විය යුතු බව අගෝස්තු 31 දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිත සමුළුව (බාර් කවුන්සිලය) තීරණය කර තිබෙනවා.
මෙහිදී අදාළ කමිටු වාර්තාව එම නියෝජිත සමුළුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නීතිඥ සංගමයේ උප සභාපතිධූරයේ කටයුතු කළ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙන අතර එම ධූරයේ වැඩබැලීම සඳහා ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා තෝරාපත් කරගෙන තිබෙනවා. එසේම ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධුරයේ තවදුරටත් කටයුතු නොකරන ලෙස දැනුම් දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ බාර් කවුන්සිලය ගත් තීරණය අනුව විධායක සභාව විසින් මේ බව කෞෂල්‍ය නවරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
දුෂණ මර්ධන ව්‍යාපෘතියක් සඳහා ජපානයේ ජාත්‍යයන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ‘ජයිකා’ ආයතනයෙන් 2023 වර්ෂයේදී ඉදිරිපත් කළ ලංසු වලට අනුව රුපියල් මිලියන 24ක මුදලක් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලංසු තැබීමේදී සහ ගිවිසුම් වලට එළැඹීමේදී පාරදෘෂ්‍ය භාවයකින් තොරව කටයුතු කළ බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව නීතිඥවරුන්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව, අදාළ වැඩසටහනට සම්පත් දායකයින් ලෙස චූදිත නිලධාරීන් විසින්ම තෝරාගෙන තිබූ සම්පත් දායකයින් යොදවාගෙන තිබූ අතර ඔවුන්ට දීමනා වශයෙන් පහත පරිදි ගෙවා තිබූ බවට නීතිඥවරුන් චෝදනා කර තිබුණා.
- ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න – රුපියල් මිලියන 6ක්
- ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස – රුපියල් මිලියන 3ක්
- ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – රුපියල් මිලියන 3ක්.
- කණිෂ්ඨ නීතිඥවරයෙකු වන නුවන් ඩී. අල්විස් – රුපියල් මිලියන 5ක්
- කණිෂ්ඨ නීතිඥවරියක වන රෂ්මිනී ඉන්දතිස්ස – රුපියල් මිලියන 5ක්
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මුල් අවස්තාවේදීම අදාළ මුදල භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වී ඇති අතර පසුව සභාපතිවරයා සහ කණිෂ්ඨ නීතිඥවරුන් විසින් එම මුදල් ආපසු භාර දී ඇති බව ද වාර්තා වී තිබේ.
ඒ සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වීමෙන් පසු සිද්ධිය පිළිබඳ විමර්ශනය කර මාස 02ක කාලයක් තුළ නීතීඥ සංගමයට වාර්තා කරන දැනුම් දෙමින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විමර්ශන කමිටුවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පත් කෙරිණී.
- ජනාධිපති නීතිඥ කේ. කනගඊශ්වරන්
- ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා
- ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ්
- ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්
- ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න
ඒ අනුව පංච පුද්ගල විමර්ශන කණ්ඩායම විසින් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 30 දින සිය විමර්ශන වාර්තාව භාර දී තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් පැවති බාර් කවුන්සිලයේ දී ඉහත තීරණවලට එළැඹ තිබේ.
මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ද මුල් අවස්ථාවේ දී ම නීතිඥ සංගමයේ සභාපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබූ අතර මේ නව තීරණය සම්බන්ධයෙන් විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සභාපතිවරයාට ඉතිරිව ඇත්තේ වහාම ධූරයෙන් ඉල්ලා අස්වීම පමණක් බවයි. එසේ නොමැති වුවහොත් රටපුරා සිටින වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කොළඹට කැඳවා අවශ්‍ය කටයුතු සිදුකරන බව සඳහන් කළා.
එසේම නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට ජනාධිපති නීතිඥධූරය පිරිනැමුනේ නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුවයි.
මේ වනවිට නීතිඥවරුන් කණ්ඩායමක් විසින් නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත්වීම සඳහා අවම වශයෙන් වසර 25ක සේවාකාලයක් සම්පූර්ණ කළ යුතු බවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැම් නීතිඥවරුන් පෙන්වා දෙන්නේ එය හුදෙක්ම මීළඟ නීතිඥ සංගම් සභාපතිධූරය සඳහා ඉදිරිපත් වීමට නියමිත එක් අපේක්ෂකයෙක් ඉලක්ක කර ගෙන ඒමට සූදානම් වන යෝජනාවක් බවයි.