2024 Presidential ElectionPoliticsTop Stories

“රනිල් ජනපති – සජිත් අගමැති” එක්ව දිනන සැළැස්මට තැන තැන සාකච්ඡා

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජනබලවේගයෙන් ඉදිරිපත්ව සිටි එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කඳවුරකට පැමිණ ජනාධිපතිවරණය සඳහා එක්ව තරඟ කළ යුතු බවට මේ වනවිට බොහෝ පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව මුලින්ම අඟවමින් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරළ විසිනි. එහිදී ඇය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙමින් සඳහන් කළේ අපරිණත නායකයෙකු රටේ ජනාධිපති වීම බරපතල අවුලක් වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ නියෝජ්‍ය නායකයා වෙන් වෙන්ව ජනාධිපතිවරණය ඉදිරිපත් වීම දේශපාලනික සිය දිවිනසා ගැනීමක් බවත් ය. එසේම එදා 3%ක්ව පැවති ජවිපෙ අද ජාතික ජනබලවේගය ලෙස පුළුල් කඳවුරක් බවට පත්ව තිබිය දී එදා ප්‍රබලම කඳවුර වූ එක්සත් ජාතික පක්ෂය අද බෙදී වෙන් වී තරඟ කිරීම තමන්ට දරාගත නොහැකි බව ද එම ප්‍රකාශයේ අන්තර්ගත වී තිබුණි. ඒ අනුව, මේ වනවිට එම මතය බොහෝ දෙනෙකු විසින් පිළිගෙන ඇති අතර සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු විශාල පිරිසක් ද එම මතයට එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ අතර මෙහි තවත් අදියරක් වශයෙන් රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ද ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බවයි. ඒ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙක් වෙන්ව තරඟ කිරීම හේතුවෙන් අශුද්ධ සන්ධානයක් බලයට පත් වීමට වැඩි ඉඩක් පවතින බවයි. ඒ අශුද්ධ සන්ධානය ලෙස තමන් හැඳින්වූයේ ජාතික ජනබලවේගය බව ද ඔහු සඳහන් කළේය.

එසේම, මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී එජාප ප්‍රබලයින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට පවතින තත්වය අනුව මාලිමාව ඉදිරියෙන් සිටින බවයි. නමුත් සංඛ්‍යාත්මකව 50% ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් දෙවැනි මනාපය සඳහා වැඩි ඉඩක් පවතින බවත් ඔවුන් පෙන්වා දී තිබේ. එබැවින් රනිල්-සජිත් එක්ව තරඟ කරන්නේ නම් පාක්ෂිකයා අවධි වනු ඇති බවත් එම උද්යෝගය නිසාම පහසුවෙන් 50% පසුකර යෑමට හැකියාව ලැබෙන බවත් ඒ සඳහා මේ මොහොතේ සුදුසුම තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිධූරයට පත් වීමට සහාය දීම බවත් ඔවුන් පෙන්වා දී ඇත. එසේ සහාය දෙන්නේ නම් අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාසට අගමැතිධූරය ලබා දීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත ලබා ගත හැකි බව ද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වෙත තහවුරු කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ ලාබාල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පොහොට්ටුවෙන් පැමිණ සහාය දෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට එකඟ වී නොමැති බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග පවසනවා. එවැනි තීරණයක් ගතහොත් මහජනතාව හමුවේ තමන් විකටයින් බවට පත්වනු ඇති බව ලාබාල මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති අතර පොහොට්ටුවෙන් පැමිණි ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ එසේ වුවහොත් තමන්ට එහි ස්ථානයක් නොලැබෙන බවයි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ මැද පෙළ අතර සාකච්ඡා වට තවදුරටත් පැවැත්වෙන අතර රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතර කිසිවක් සාකච්ඡා වී නොමැති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙකු විසින් මෙම සාකච්ඡා මෙහෙයවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *