2024 Presidential ElectionPoliticsTop Stories

යූ ටියුබ් සමීක්ෂණ වංචනිකයින්ට ඔබත් හසුවූවාද?

ජනාධිපතිවරණයක් හෝ ඕනෑම මැතිවරණ සමයක හෝ ඊට ආසන්න කාලයේ දී එහි ප්‍රතිපළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත අදහසක් ලබා ගැනීමේ අරමුණින් සමීක්ෂණ සිදුකරනු ලබයි. නමුත් ඒවායේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමක් සිදු නොකෙරෙන අතර අදාළ ප්‍රතිඵල වෙනස් කිරීමට අවශ්‍ය පාර්ශව විසින් සිය අවධානය යොමු කළ යුතු ප්‍රදේශ හෝ අංශ හෝ සිදුවීම් සම්බන්ධයෙන් ඒවා යොදා ගැනීම සිදුවේ.

නමුත් මේ වනවිට මෙම සමීක්ෂණ භාවිතා වන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙසයි. ඒ අනුව, සිදුකරන ලද බව කියන සමීක්ෂණයක ප්‍රතිඵල මහජනතාවට දැන ගැනීමට සළස්වා දේශපාලන පක්ෂ විසින් ඉන් අනියම් වාසියක් අත් කර ගැනීමට හෝ ඔවුන්ට සහාය පළ කරන පිරිස් විසින් අනියම් වාසියක් අත්කර දීමට මේවා යොදා ගැනීම සිදුවේ. “අන්න රත්නපුරත් මෙයාට, මාවනැල්ලත් මෙයාට” වැනි මතයක් සමාජගත කිරීම හරහා ඡන්දදායකයාගේ මතයට බලපෑමක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් මේවා සිදුවෙයි.

මේ වනවිට මෙම ඊනියා සමීක්ෂණ එයට ළගාවිය හැකි බරපතලම තත්වයට පත් වෙමින් තිබේ. එහිදී සිදුවන්නේ යූටියුබ්කරුවන් විසින් මයික් සහ කැමරා එල්ල කර මහජනතාවගෙන් සිය මතය විමසා එය ඒ ඒ අපේක්ෂකයාට එවෙලේම බැර කරමින් ඒ ඒ අපේක්ෂකයාගේ ගොඩ ප්‍රසිද්ධියේ පෙන්වීමයි. ඉන් නොනවතින යූටියුබ්කරුවන් ඔවුන් වෙත අදහස් නොදක්වන සහ විරෝධය පළ කරන පුද්ගලයින්ට නින්දිත ආකාරයෙන් බැන වදින ආකාරය ද ඔවුන් විසින්ම විකාශය කරයි. එයින් ජනතාවට සිදුකරන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් කළ යුතු බරපතල අපරාධයක් බව දනිමින්ම පොලිසිය සහ මැතිවරණ කොමිසම මුනිවත රැකීම කාගේත් කණගාටුවට ලක්ව ඇති කාරණයකි.

මේ වන විට බොහෝ දෙනෙකු දන්නා ආකාරයෙන් මෙම සමීක්ෂණවල අවසානයේ සිදුවන්නේ ටෙලි නාට්ටියක අවසානයේ සිදුවන දේ හා සමාන දෙයකි. එනම් බොහෝ කාලයක් යන තුරු සමාජය සත්‍ය මතය සමාජගත කර එය මහජනතාව විසින් වැළඳගැනීමෙන් පසු මුදලට හෝ වෙනත් අරමුණු සහිතව ප්‍රතිඵලය වෙනස්වන බව පෙන්වීමයි. මුලින් එක් අපේක්ෂකයෙක් 60%ක 70%ක ප්‍රතිඵලයක් ලබාගන්නා බව පෙන්වමින් ආරම්භ කරන සමීක්ෂණ අවසාන කාලය වෙද්දි එම අපේක්ෂකයාට ලැබෙන ප්‍රතිශතය අඩුවෙමින් යන බවත්, තමන් කැමති අපේක්ෂකයෙකුට ලැබෙන ප්‍රතිශතය ඉහළ යන බවත් සමීක්ෂණය ඔස්සේ පෙන්වයි. එයින් මහජනතාවට සම්ප්‍රේෂණය වන්නේ “ආහ් දැන් එන්න එන්න රැල්ල අඩු වෙනවා” හෝ “දැන් අර අපේක්ෂකයාට මිනිස්සු වැඩිපුර කැමතියි” වැනි මතයක් වන අතර එය කෘතීමව ජනමනසට ඇතුල් කරන මතයක් වේ. එය නිදහස් හා සාධාරණ මැතිවරණයට සිදුකළ හැකි බරපතලම හානියකි. මෙහි ඇතැමුන් පවසන්නේ අදාළ වීඩියෝ සමීක්ෂණ සංස්කරණය කර නොමැතිව සාධාරණ ලෙස පෙන්වන බවයි. නමුත් ඔවුන් තේරුම් නොගන්නේ එහි පසුබිම සකස් කරන ආකාරයයි. මෙවැනි පහත් ආකාරයේ සමීක්ෂණ සිදුකරන්නන් එය සිදුකරන්නේ සරල ක්‍රමයකට අනුවයි. එහිදී ඔහු සිය හිතවත් දේශපාලන පක්ෂයේ අදාළ ප්‍රදේශය භාර සංවිධායකයෙකුට කතා කර අද තමන් එම ප්‍රදේශයේ සමීක්ෂණය සිදුකරන බවත් සාමාන්‍ය ජනතාව ලෙස එම ප්‍රදේශයට පිරිසක් එවන ලෙසත් සිදුකරන කෙටි දැනුම් දීමකින් සමස්ත ප්‍රතිඵලයක් වෙනස් කළ හැකි බව මහජනතාව තේරුම්ගත යුතුය. අවසානයේ මැතිවරණ ප්‍රතිඵලය ද වෙනස් වී රටට කුමක් වුවත් මෙම සමීක්ෂණ සිදුකරනු ලබන යූටියුබ්කරුවා විශාල ධනපතියෙක් වීම නම් කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට තවත් ඇත්තේ දින 8ක කාලයක් පමණි. මෙම තත්වය පාලනය නොකළහොත් අවසානයේ මෙම ඊනියා සමීක්ෂකයෝ තර්ජනය කර මතය විමසන ආකාරය ද රස කර කර නැරඹීමට මහජනතාවට හැකිවනු ඇත.

අශ්වයා ගියාට පසු ස්ථාලය වසා ඵලක් නොවන බව පමණක් මැතිවරණ කොමිසමට මතක් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *