මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කරමින් පෙළපාලි ගිය අන්තරේ පළවා හරී, කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
2024 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවත් දින 11ක් පමණක් ඉතිරිව තිබිය දී සහ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරමින් උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කර තිබිය දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දේශපාලනික තේමා කිහිපයක් මුල් කරගනිමින් පෙළපාලියක් හා උද්ඝෝෂණයක් පැවැත්වීමට ගත් උත්සාහය මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව මර්දනය කිරීමට සමත් වී තිබෙනවා.
පිරිස කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ දී පොලිසිය විසින් මැතිවරණ නීතිය පහදා දී පිරිස විසුරුවා හැරීමට උත්සාහ කළ ද රටේ පොදු නීතියට අවනත නොවෙමින් චීවරධාරීන් පිරිසක් සහ සිසු නායකයින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවී තිබෙනවා.
එහෙත් තවදුරටත් පිරිස විසිරයාම වෙනුවට කලහාකාරී ලෙස පොලිසියේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු අතර මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු පැමිණ යළිත් වරක් නීතිය පැහැදිලි කර දුන්නත් ඒවා මායිම් නොකර කලහකාරී වීම හේතුවෙන් චීවරධාරී ශීෂ්‍යයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවිය.
මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපතිවරයා වන මදුෂාන් ඉන්ද්‍රජිත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන අතර විප්ලවවාදී ශිෂ්‍ය සංගමයට ලැදි අයකු ලෙස ද සැලකෙන අතර එය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි. මේ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජන අරගල සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන අතර ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ ඉදිරිපත් කර ඇති ප්රතිපත්තිවල පැහැදිලිව සඳහන් වන අරමුණු අද දින පැවැත්වූ පෙළපාලියේ ගෙන ගිය පුවරුවල සඳහන් වී තිබේ.
දේශපාලන වාර්තාකරු