NewsTop Stories

ඉල්ලා අස්වන්නැයි කළ දැනුම් දීමෙන් පසු නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සැප්තැම්බර් 13 දිනැති සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරිය මාර්ගයෙන් නීතිඥ සංගම් සභාව වෙත යොමු කර තිබේ.

ඒ කෞෂල්‍ය නවරත්න එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ සභාව විසින් පසුගිය අගෝස්තු 30 දින ඒකමතිකව තීරණය කරනු ලැබීමෙන් පසුවයි. කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට පෙර ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න පුවත්පත් කිහිපයකට සහ යූටියුබ් නාලිකාවකට සිදුකර තිබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද නීතිඥයින් රැසකගෙන් ප්‍රබල විවේචනයක් එල්ල වී තිබූ අතර නීතිඥ සංගමය ද එම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. එසේම ඔහු ඉල්ලා අස්වීමෙන් අනතුරුවත් ප්‍රසිද්ධ ෆේස්බුක් පිටු ඔස්සේ ඔහුට ප්‍රශංසා කිරීම ද නීතිඥවරුන්ගේ අවධානයට ලක්ව තිබේ.

2024 – 2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේ දී නීතිඥ සංගමයේ සභාපති ලෙස කෞෂල්‍ය නවරත්න නිතරගයෙන් තේරී පත්ව තිබුණා. 2023 – 2024 වාරය සඳහා මුල් වරට ද ඔහු නිතරගෙන් පත්ව තිබුණේ එම ධූරය සඳහා තරඟ කරන බව ප්‍රකාශයට පත් කර තිබූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හදිසියෙන්ම අපේක්ෂකත්වයෙන් ඉවත්වීමත් සමගයි.

කෞෂල්‍ය නවරත්න ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් පත් කරනු ලැබුවේ නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත්වීමෙන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *