උපරිම බලය බෙදනවා, පළාත් සභා සතු බලතල යළි මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නේ නෑ – සජිත් ප්‍රේමදාසගෙන් යාපනයේ දී සහතිකයක්
එක රටක් තුළ උපරිම බලය බෙදීම සිදුකරන බවත්, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පවත්වන බවත්, පළාත් සභා සතු බලය මධ්‍යම ආණ්ඩුවට ලබා නොගන්නා බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ සැප්තැම්බර් 15 දින යාපනයේ මනිපායි ප්‍රදේශයේ පැවති ජනරැලියකට සහභාගී වෙමිනි.
“එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම, පළාත් සභා සතු බලය මධ්‍යම අණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම මෙන්ම මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යයෙන්ම උතුරු පළාත නැගෙනහිර පළාත කේන්ද්‍රීයකරගෙන යුද්ධය නිසා විශාල හානීයක් සිදු වුණු ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අපි අනිවාර්යයෙන් කැප වෙනවා කියන එක මේ අවස්තාවේ ප්‍රකාශ කරනවා.”
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකළ 13 වැනි සංශෝධනය මගින් ඉඩම් හා පොලිස් බලතල ද පළාත් සභාවලට ලබා දී තිබුණත් රටවැසියන්ගෙන් එල්ල වූ බරපතල විරෝධය හමුවේ එම බලතල මධ්‍යම ආණ්ඩුව සතුව තබා ගැනීමට මෙතෙක් පත් වූ සියලුම ජනාධිපතිවරු සහ ආණ්ඩු කටයුතු කළා. පළාත් සභා සතු බලතල නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට ඇති බලතල අහෝසි කරනු ලැබුවොත් මෙලෙස ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල සදාකල් පළාත් සභා සතුවන අතර ඔවුන්ට රිසිසේ එම බලතල භුක්ති විඳීමට හැකිවනු ඇත.