අද දිවුරුම් දෙන අගමැති සහ ඇමති මණ්ඩලය මෙන්න!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 24 දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, හරිනි අමරසූරිය මහත්මියගේ අග්රාමාත්යධූරය යටතේ විජිත හේරත් සහ ලක්ෂමන් නිපුණආරච්චි යන මහත්වරුන් ද කැබිනට් මණ්ඩලය පත් කරනු ඇත. මෙය ලංකා ඉතිහාසයේ පිහිටුවීමට යන කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස ද වාර්තා අතරට එක්වීමට නියමිත වේ.
ආරංචි මාර්ග අනුව, ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශයට අමතරව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් යන අමාත්‍යංශ තමන් යටතේ තබා ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එම ධූරයට අමතරව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ, කර්මාන්ත හා. ව්‍යවසායකත්ව සෞඛ්‍ය යන විෂයන්ට අදාළ ඇමතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
විජිත හේරත් මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර, වනජීවී වන සම්පත්, ජල සම්පාදන, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශවල දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අමාත්යංශධූරයක දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ.
ඉන්පසු එම අමාත්‍යංශ සඳහා නව ලේකම්වරුන් පත් කිරීමටත් පළමු කැබිනට් හමුව අද දිනය තුළම පැවැත්වීමටත් නියමිත අතර එහිදී මහාමැතිවරණය වෙනුවෙන් මුදල් වෙන් කිරීම සහ කැබිනට් අනුමැතියෙන් පත් කළ යුතු තනතුරු පත් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමටත්, කැබිනට් අනුමැතිය අවශ්‍ය අනෙකුත් කටයුතු සිදුකිරීමටත් අපේක්ෂිත බව වැඩිදුරටත් වාර්තා වේ.
එම සියලු කරුණුවලින් පසුව අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මීලඟ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.