වාහන ආනයනය – සංගම්වලට ඒකාධිකාරයක් දෙන්න එපා, වාහන ගැනුම්කරුවන් රජයෙන් ඉල්ලයි
ඔක්තෝබර් මාසය වනවිට වාහන ආනයන කිරීමට අවස්ථාව ලබා දෙන බවට මීට පෙර පැවති ආණ්ඩුව විසින් සඳහන් කළත් මේ වනවිට ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ඔක්තෝබර් 08 දින මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.
මේ වනවිට පොදු ප්‍රවාහන රථ සඳහා ගැනුම්කරුවන් විසින් මෙරට නියෝජිතයින් හරහා අත්තිකාරම් ගෙවා ඒවායේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් පවතින පසුබිමක පෞද්ගලික වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ ඔක්තෝබර් 1 සිට බස් හා ලොරි රථ ආනයනය කිරීමට ඉඩ දෙන බවට රාවයක් යන නමුත් එවැනි කිසිදු චක්‍රලේඛයක් හෝ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් රජයේ ආයතනයකින් ආනයන පාලක හෝ බැංකු වෙත යවා ඇති බවක් තහවුරු වී නැති බවයි.
එසේම මීට පෙර වාහන ආනයන කළ කාලයේ පැවති මිලට නැවත වාහන ආනයන කිරීමට නොහැකි බැවින් පවතින මිල ගණන්වල විශාල පහළ යාමක් සිදුනොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ වාහන ආනයනය කිරීමේ දී වාහන ආනයනකරුවන්ගේ සංගම සඳහා පමණක් ඊට අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇති බවයි. එහිදී විදේශ විනිමය සඳහා බලපෑමක් නොවන පරිදි වාහන ආනයනය කළ හැකි බව ඔවුන් පවසා තිබුණත් එයින් සිදුවන්නේ වාහන ආනයනකරුවන්ට මිල තීරණය කිරීමේ ඒකාධිකාරයක් ඒ හරහා ගොඩනැගෙන බැවින් එවැනි තීරණයක් ගැනීමේ සූදානමක් නැති බවයි.
මේ අතර වාහන ගැනුම්කරුවන් මුදල් අමාත්‍යංශයෙන් සහ මහබැංකුවෙන් ද විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පෙන්වා දී ඇත්තේ කිසිසේත් තෝරාගත් සංගම් වෙත එවැනි අවසරයක් නොදෙන ලෙසයි. වාහන ආනයනය සඳහා අවසර දෙන විට ඕනෑම පුද්ගලයෙකුට රජය විසින් පනවන කොන්දේසි යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.