NewsTop Stories

පාතාලේ මඩින්න නම් මානව හිමිකම් චෝදනාවලින් බේරාගන්නැයි ජනාධිපති අනුරගෙන් ඉල්ලලා, ජාතික පුවත්පතක් අනාවරණය කරයි

හිස ඔසවමින් ඇති පාතාලය මැඬලීමට නම් පාතාල මර්දනයට කැපවුණු නිලධාරීන්ට පවරා ඇති මානව හිමිකම් නඩු හා අත්අඩංගුවට ගැනීමේ නියෝගවලින් ඔවුන්ව මුදාහැර දෙන්නැයි ආරක්ෂක ප්‍රධානීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ජාතික පුවත්පතක් අනාවරණය කර තිබෙනවා.

අරුණ පුවත්පතේ වූ වාර්තාවකට අනුව එහි සඳහන් වන්නේ “පාතාල මර්දනයට කැපවූ නිලධාරීන්ව අත්අඩංගුවට ගැනීමට හා එම නිලධාරීන් මානව හිමිකම් කඩකළ බව කියමින් දැනටමත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට එරෙහිව නඩු දාහතක් විභාග වන බව පොලිස් විශේෂ කාර්යබළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෙහිදී පෙන්වා දී ඇති” බවයි.

එසේම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී මේ සාකච්ඡාව සිදු වූ බව ද අදාළ පුවත්පත අනාවරණය කර තිබෙනවා.

වඩාත් බරපතලම කාරණය වී ඇත්තේ ප්‍රශ්නගත ආරක්ෂක කවුන්සිල රැස්වීමට නීතිපති පාරින්ද රණසිංහද කැඳවා ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් වහාම මේ සඳහා මැදිහත්වන්නැයි නීතිපතිට දැනුම් දීමක් ද සිදුකර ඇති බව අනාවරණය කර තිබීමයි.

රටක මූලික වශයෙන් ප්‍රධානතම වගකීම වන්නේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමයි. පසුගිය කාලය පුරාම පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධාවක් වන ආකාරයේ හැසිරීම් සම්බන්ධයෙන් විවිධ චෝදනාවන්ට ලක්ව තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩ තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දියත් කරනු ලැබූ “යුක්තිය” නම් මෙහෙයුම යටතේ ද දැඩි ලෙස මානව හිමිකම් කඩ වූ බවට ජනතාව චෝදනා කර තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීම සහ පාතාලය මර්දනය කිරීම අත්‍යාවශ්‍ය වුවත් ඒ සියල්ල ඇත්තේ මානව හිමිකම් සුරැකීමට යටත්ව බව වටහා ගැනීම අත්‍යාවශ්‍ය වේ. සැබැවින්ම, මානව හිමිකම් සුරැකීම එකී කාර්යයන් වලට කිසිඳු බාධාවක් නොවේ. මානව හිමිකම් බාධාවක් වන්නේ පොලිසිය විසින් සැකකරුවන්ට පහර දීම, වධ හිංසනයට ලක් කිරීම, අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම ඇතුළු කාරණාවල දී ය. අපරාධකරුවෙකුට හෝ පහරදීමට බලයක් පොලිස් නිලධාරීන්ට නැත.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරුවෙකු කර ඇති පුද්ගලයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එලෙස වැරදිකරුවෙකු කර ඇත්තේ පුද්ගලයෙකුගේ ලිංගික ප්‍රදේශයට සිදුකරන ලද වධ හිංසාවක් සම්බන්ධයෙනි. එහිදී සිදුවිය යුතුව තිබුණේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් පැවරීමයි. නමුත් ඒ වෙනුවට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් ඔහුව ප්‍රශ්නසහගත ලෙස පොලිස්පතිවරයා ලෙස පත් කිරීමයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වන්නේ මෙවැනි වටපිටවක බැවින් ආරක්ෂක අංශ විසින් මෙවැනි නීති විරෝධී ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන්ම සිදුකර ඇත්නම් අදාළ නිලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගනු ඇතැයි මහජනතාව අපේක්ෂා කරයි. එසේම මානව හිමිකම් සුරකින දක්ෂ නිලධාරීන් ඕනෑ තරම් පොලිසිය තුළ සිටින බව ද සටහන් කළ යුතුව ඇත.

  • විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *