NewsTop Stories

පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට කිසිඳු නීතිමය බාධාවක් නොමැති බව වැඩ බලන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට දන්වයි

පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

RTM-924 හා CRTM-762 අංක දරන 2024.10.30 දිනැතිව නිකුත් කරන ලද අදාළ උපදෙස් මාලාව මගින් සියලු පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ පොලිස් නිලධරයන්ගේ රාජකාරි හා වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිඳු නීතියක් මගින් වළක්වා නොමැති බවයි.

පොලිස් නිලධරයන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුල ව නිරීක්ෂණය වන බව ද පොලිස්පතිවරයා සඳහන් කරයි.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථා වලදී ඇතැම් පොලිස් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන ජංගම දුරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වී ඇති බව පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

ඇතැම් පොලිස් නිලධරයන් ඉහත පරිදි ක්‍රියා කරන අවස්ථා බොහොමයක දී, එම නිලධරයන්ගේ නීති විරෝධී, විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් එකී පුද්ගලයන් විසින් වීඩි යෝගත කර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණයට ලක් වී ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.

එබැවින් මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව මූලික ව පොලිස් නිලධරයන් වෙත දැනුම් දිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

තවද, යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවක දී එම සංස්කරණය නොකල වීඩියෝ රෙකෝඩනය (ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩනය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුලත් ව ඇති අතර, එම නෛතික ප‍්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි බව ද පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම, පොලිස් නිලධරයෙකු සිදු කරන විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් මහජනතාව විසින් වීඩියෝගත කිරීම මඟින් එම පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කිරීමට හැකියාව ලැබෙන අතර, එවැනි විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇති බව ද එම චක්‍රලේඛය මගින් පොලිස්පතිවරයා සිහිපත් කර තිබේ.

එබැවින්, පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම වැළැක්වීමට පියවර නොගත යුතු බවට සෑම නිලධරයෙකුම දැනුවත් කිරීමට ක්‍රියා කළ යුතු බවට පොලිස්පතිවරයා සියලු පොලිස් ප්‍රධානීන් වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත වෛරී හැඟීම් ඇති වන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමක් සිදු වුවහොත්, එවැනි තැනැත්තන් විෂයෙහි නෛතික පියවර ගැනීමට මෙම උපදෙස් පණිවිඩය මඟින් බාධාවක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *