පොහොට්ටුවේ අපේක්ෂකත්වය ධම්මිකට! ප්‍රකාශයට පත් කිරීම 7 වැනිදා
2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.
කෙසේ වෙතත් එම තීරණය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇත්තේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට තිරණය කර තිබීම හේතුවෙන් බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. මේ අතර පොහොට්ටුවේ ප්‍රබල නායකයෙකු දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ පොහොට්ටුව වෙනම තරඟ කිරීමෙන් ලැබෙන මැතිවරණ ප්‍රතිඵලය අනුව පොහොට්ටුවට දරුණු පරාජයක් අත්විඳීමට සිදුවන බවයි. එබැවින් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමෙන් ජයග්‍රහණයට පවා අවස්ථාවක් ඇති බවත්, එම කාලය තුළ නැවත පාර්ලිමේන්තු බලය තහවුරු කර ගැනීමට පවා අවස්ථාවක් ලැබෙනු ඇති බවටයි.
නමුත් තනිව තරඟ කිරීමෙන් පොහොට්ටුව ලබන ඡන්ද ප්‍රමාණය නොසිතන ආකාරයෙන් පහළ වැටෙන තත්වයක් ඇතිවුවහොත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම පවා අපහසු විය හැකි බව එම ප්‍රබලයා අවධාරණය කර තිබෙනවා. එහෙත් පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ මතය වී තිබෙන්නේ ප්‍රතිපත්ති අතර ඇති ගැටුම හේතුවෙන් රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමෙන් තම පක්ෂයේ දේශපාලන අනාගතය අභියෝගයට ලක්වන බවයි.