කොතලාවල සරසවියට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විසි කරයි
කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 31 දින තීන්දු කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමත්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.
වෛද්‍ය උපාධිය සඳහා සම්මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්ණායකයන්ට පටහැනි ලෙස සිසුන් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්රමුඛ පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් සමග ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කරුණු දැක්වමින් සඳහන් කළේ වසර පහක වෛද්‍ය විද්‍යා සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සහිත සිවිල් සිසුන්ගෙන් අයැදුම්පත් කැඳවීම ඉකුත් අප්‍රේල් මස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සිදු කර ඇති බවයි. ඒ අනුව කෙඩෙට් නොවන සිවිල් සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව ලබා දීම යනාදිය කොතලාවල විශ්වවිද්‍යාල පනතේ 4 වැනි වගන්තියට පටහැනි බව පෙත්සමන්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කර සිටියේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු වසන් කරමින් ගොනුකර තිබෙන බවයි. ඒ හේතුවෙන් එම මූලික විරෝධතාවය සළකා එකී පෙත්සම විභාගය ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයෙන් අයැද සිටියා.
අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම පෙත්සම මගින් මතු කරන නීතිමය කරුණ සම්බන්ධයෙන් මීට වසරකට පෙර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබූ බවත්, එම පෙත්සමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මැදිහත් වූ බවත් සඳහන් කළේය. එසේම මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති පෙත්සම්කරුවන් අතර ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සිටින බැවින්, පෙර නඩුව පිළිබඳව දැන නොසිටීමට කිසිදු හැකියාවක් නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය. එසේම එකී රිට් පෙත්සම ද අභියාචනාධිකරණය විසින් ඉවත දැමූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.
එහිදී විනිසුරු මඬුල්ල විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මේ වන විට මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් 126 දෙනකු තෝරාගෙන ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ප්‍රශ්න කර සිටියේ, මෙම සිසුන් එකසිය විසි හය දෙනා විදේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය සඳහා යොමු කළහොත්, රුපියල් බිලියන කීයක මුදලක් විදේශ රටවල් සඳහා ගෙවිය යුතු ද යන්නයි.
ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
මෙම පෙත්සම් ගොනුකර තිබුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය සුමති සිවමෝහන්, මහාචාර්ය ශාමලා කුමාර් ඇතුළු පිරිසක් විසිනි.
ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය, එහි කුලපති, විශ්‍රාමික ජනරාල් ජී.එච්. ද සිල්වා, එහි කළමනාකරණ මණ්ඩලයේ සභාපති, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.