Breaking: ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරඟයේ ලකුණු සමවෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අගෝස්තු 02 දින කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරඟයේ දී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.
එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් දුනිත් වෙල්ලාගේ නොදැවී ලකුණු 67ක් රැස්කිරීමට සමත් වුණි. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 24ක් ද ජනිත් ලියනගේ ලකුණු 20ක් ද ලබාගත්තේ ය.
ඒ අනුව ලකුණු 231ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියල්ලන් දැවී රැස් කළේ ද ලකුණු 230යි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ශර්මා වේගවත් ලකුණු 58ක් රැස්කළ අතර අක්සාර් පටෙල් ලකුණු 33ක් ද රාහුල් ලකුණු 31ක් ද ඩුබේ ලකුණු 25ක් ද රැස් කළේ ය.
පන්දු යැවීමේ දී නායක චරිත් අසලංක ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග ලකුණු 58කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ට කඩුලු 2ක් ද අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් විය.