2024 Presidential ElectionPoliticsTop Stories

ගෝඨාභය දෙවන කොටස බලන්න එපා, අපරිණත සජිත් ගැන තලතාගේ රට දෙවනත් කරවන ප්‍රකාශයක්

සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුගිය දා ඉන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරළ අගෝස්තු 30 දිනැතිව විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

මේ තීරණාත්මක මොහොතේ තමන්ට ලැබීමට නියමිත තනතුරු ගැන සාකච්ඡා කළ යුතු සාමාන්‍ය වේලාවක් නොවන බවත් ගෝඨාභය දෙවන කොටස ඇතිවීම වළක්වාගත යුතු තීරණාත්මක මොහොතක් බවයි.

එකී නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.

“ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳව මා පසුගියදා රටට හෙළිදරව් කළද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ නිතර ප‍්‍රචාරය වන්නේ මා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තනතුරට පත්වන බවකි. මෙය කිසිසේත්ම කා හට කුමන තනතුරක් ලැබෙනවාද යන්න පිළිබඳ සාකච්ඡා කරන සාමාන්‍ය අවස්ථාවක් නොවේ.

එදා මා හෙළිදරව් කළේ තව සති තුනකින් සිදුවීමට නියමිත තීරණාත්මක සිදුවීමකට අදාළව මුලූ රටේම අවධානය යොමු වියයුතු අතිශය භයානක කාරණයකි. එය හුදු තනතුරක් හෝ වරප‍්‍රසාදයක් වැනි අතිශය සරල කාරණයක් පිළිබඳ සිද්ධියක් නොවේ.

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති මා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප‍්‍රසාදයක් නොවේ. ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීමය. එය බෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක සිදුවීමකි. එහෙයින් මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේද ඒ පිළිබඳව සමස්ත රටවැසියාගේම අවධානය යොමු කරවීම සඳහාය.

මා එදා දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟාකර ගතයුතු නැති බවය. එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය මට අවබෝධ වූ සැණින් මම එය ඔබට හෙළිදරව් කළෙමි. මා මගේ මන්ත‍්‍රී ධූරයෙන් පවා ඉවත් වූයේ එකී භයානක තත්වය රටට හෙළිදරව් කොට රටත් ජනතාවත් ඉන් මුදාගැනීම සඳහාය. මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? මට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් ඇත්තේ නැත. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී මට අවබෝධ වූ සත්‍යය ඉතා භයානකය. ඒ බව මා වහා ජනතාවට කිවයුතුය. මාගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීමය. මේ රටත් ජනතාවත් එවැනි ආපදාවකින් බේරා ගැනීමය.

එහෙයින් මෙම ජනාධිපතිවරණයේදී ඔබ හුදු ප‍්‍රචාරක රැළිවලට අසුවිය යුතු නැත. ඔබ තෝරාගන්නා අපේක්‍ෂකයාට රටක් පාලනය කළ හැකිද යන කාරණය එක් වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතුය. මෙය නායකයින් පුහුණු කරන අවස්ථාවක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතුය. මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවේ. එහෙයින් මේ රටේ ජනතාව තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට යළිත් පත්විය යුතු නැත. අද බොහෝ දේශපාලනඥයින්ට එය අදාළ නොවන්නේ ඔවුන් සියලූ දෙනාම තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරනවා මිස රට ගැන හෝ ජනතාව ගැන කැක්කුමකින් කටයුතු නොකරන අය නිසාය. ඒ බවට සාක්‍ෂි කොතෙකුත් ඇත. එම නිසා එළඹෙන ජනාධිපතිවරණයේදී හුදු සන්ධානවාදී ප‍්‍රචාරක ක‍්‍රමවලින් රටත් ජනතාවත් මුලා කරන කිසිවකුට අසුනොවී සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට අපේ රට ඔසවා තැබිය හැකි නායකයකු තෝරා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලමි.

තලතා අතුකෝරළ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *