9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද තව සුළු මොහොතකින් දිවුරුම් දෙයි, අග්රාමාත්යධූරයට හරිනි
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (2024 සැප්තැම්බර් 23) දිවුරුම් දීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා අණ්ඩුක්රම ව්‍යවස්ථාව ප්‍රකාරව අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ පෙරවරු 9ත් 11ත් අතර දිවුරුම් දීම සඳහා සූදානම් වන ලෙස දැනුම් දී ඇති බවත්, කිසිඳු කාර්යක් සඳහා අනවශ්‍ය වියදම් සිදුනොකරන ලෙසත් තමන් වෙත දැනුම් දී ඇති බවය.
එසේම නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ. එසේම, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන විජිත හේරත්, ලක්ෂ්මන් නිපුණආරච්චි (අනුර කුමාර දිසානායක වෙනුවෙට පාර්ලිමේන්තුවට පත්වන), හරිනි අමරසූරිය හා ජනාධිපතිවරයා සමග ලංකා ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ද පත් කිරීමට නියමිතව තිබෙනවා.
1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගෙන ඇති අතර පසුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව, මුල් අවස්ථාවේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තෝරාගෙන තිබුණත් පසුව ඇති වූ තත්වයක් මත 1992 දී ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්ව ඇති අතර 1995 වසරේ දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය සමත් වී තිබේ.
පාසල් කාලයේ සිටම දේශපාලනයට සම්බන්ධව සිට ඇති අනුර කුමාර දිසානායක 1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය ලබා දී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කර තිබුණි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස පත් වීමත් දේශපාලන කටයුතුවලට අදාළව ඔහු සිදුකළ කාර්යභාර්ය හේතුවෙනුත් 1997 වසරේ දී ජනතා විමුක්ති පෙමරුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය ලැබී ඇති අතර 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් බවට ද පත්ව තිබේ.
පක්ෂය තුළත්, සමාජය තුළත් ඔහු කැපී පෙනෙන කාර්යභාර්යක් සිදුකළ අනුර කුමාර දිසානායක 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් මධ්‍යම පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග කරමින් පළමු වරට සක්‍රීය ජාතික දේශපාලනයට ප්‍රවේශ විය.
2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක 2004 වර්ෂයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩ නැගීමෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ පළමු තැනට වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සමාජය ද ඔහු ගැන තැබූ විශ්වාසය මතය. අනුර කුමාර දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් පසුව එම ආණ්ඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත් වීමෙන් පසුව 2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනු ලැබූ අතර 2010 වසරේ දී නැවතත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වට පත් වු ඔහු පක්ෂය නව මානයකට ගෙන යාම සඳහා උපාය මාර්ගිකව කටයුතු කළ දේශපාලනඥයෙකු ලෙස සැළකේ.
ඒ අනුව, 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ දී පැවති රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයට බාධාවක් නොවන ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමෙන් වැළකුණු අතර 2015 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාපයෙන් යළිත්වරක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්විය.
පසුව විපක්ෂය තුළ පාර්ලිමේන්තුවේ දී කැපී පෙනෙන කාර්යභාර්යක් සිදුකරමින් ද අත්‍යවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවේ ඇතැම් ප්රගතිශීලි කටයුතු සඳහා සිය සහාය ලබා දෙමින් ද විශේෂ කාර්යභාර්යක් සිදුකරන ලදී.
නමුත් එවකට ඇති වූ තත්වයන් මත බලය ලබා ගැනීම සඳහා සුවිශේෂීම දේශපාලන උපායමාර්ගික සැළැස්ම ඉදිරිපත් කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතා වන අතර සම්ප්‍රදායික ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ඇති වැරදි ජනතා මතය වෙනස් කිරීම කැපවී කටයුතු කළේය. ඒ සඳහා 2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජනතා විශ්වාසය දිනාගත හැකි පුළුල් බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.
එහෙත් පාස්කු ප්‍රහාරයත් සමග ජාතික ආරක්ෂාව ප්‍රධාන අරමුණ වී තිබීම හේතුවෙන් 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත් අනුර කුමාර දිසානායක මහතාට ලබා ගත හැකි වූයේ සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් පමණි. නමුත් ආසන 3ක් සමග පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජනබලවේගයට හැකියාව ලැබුණි.
2021 වසරේ දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලද ජාතික ජනබලවේගය පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වට පත්වන අනුර කුමාර දිසානායක මහතා 2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් පත්විය. ඒ වනවිටත් ජාතික ජනබලවේගයේ ක්‍රියාමාර්ග සමාජය තුළ දැඩි ප්‍රසාදයකට ලක්ව තිබූ අතර රට පුරා දැවන්ත රැල්ලක් ද මතුවී තිබුණි. කෙසේ වෙතත් පසුව දේශපාලන පොරපිටියේ දී හාමුදුරුවරුන් සහ විවිධ බලවේග විසින් එල්ල කරන ලද චෝදනා හේතුවෙන් සහ ඇති කරන ලද සැකයන් හේතුවෙන් අපේක්ෂිත ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම නොලැබුණ නමුත් අවසානයේ වැඩි ඡන්ද ලක්ෂ 13ක අධික ප්‍රමාණයක් ලබා ගනිමින් මිලියන 22කට අධික ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරනු ලැබුවේ ඡන්ද ලක්ෂ 56කට අධික ඡන්ද ප්‍රමාණයක් පළමු වටයෙන්ම ලබා ගනිමිනි.
සැප්තැම්බර් 22 පස්වරු 8ට දෙවන වටයේ මනාප ගණනය ද පැවැත්වීමෙන් අනතුරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් 2024 ජනාධිපතිවරණයේ දී මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස බහුතර ඡන්දයෙන් අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව ඇති බව නිවේදනය කළේය.
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බවත්, රට පත්ව ඇති තත්වය ගැන අවබෝධයකින් එම තීරණ ගන්නා බවත් ය. එසේම කොමිසමේ සභාපතිවරයා පැවසූ මැතිවරණ නීති සංශෝධනයට අදාළ කටයුතු මහමැතිවරණයට පෙර සිදුකිරීමේ අවස්ථාවක් නොමැති බව ද තේරී පත්ව සිටින ජනාධිපතිවරයා පවසනවා. ඒ ඔහු විසින් මේ සතිය තුළම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වනවිටත් ජනතාව හමුවේ පවසා ඇති බැවිනි.