පොල් ගෙඩියේ මිල 200ට ළං වෙයි
මේ වනවිට බොහෝ ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 150 සිට 200 දක්වා වූ මිලකට ඉහළ ගොස් තිබෙන බව රිවිර.lk ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කර තිබෙනවා. එහිදී සාමාන්‍ය කුඩා පොල් ගෙඩියක මිල රුපියල් 150ක් ලෙසත්, ලොකු පොල් ගෙඩියක් රුපියල් 190ක් 200ක් ලෙසත් බොහෝ වෙළෙදුන් අලෙවි කරමින් සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අතර රුපියල් 85ක පමණ මිල පැවති මිල රුපියල් 150 දක්වා ඉහළ යාම කිසිසේත් දරාගත නොහැකි බව ඔවුන් පවසනවා.
මේ අතර පොල් තෙල් නිෂ්පාදකයින් පවසන්නේ පොල් තෙල් ද රුපියල් 150කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි. ඒ අනුව, මෙතෙක් කලක් රුපියල් 400කට අලෙවි කළ පොල් තෙල් බෝතලයක් රුපියල් 550ක් ලෙස අලෙවි කිරීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
පොල් අලෙවිකරුවන් පවසන්නේ පොල් තොග ලැබීමේ ප්‍රමාණය අඩු වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි. ඉදිරියේ දී යළිත් තොග ලැබීමට නියමිත බැවින් මෙම ගැටළුව විසඳෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බව ද සඳහන් කළා. කෙසේ වෙතත් පාරිභෝගිකයින් පවසන්නේ මෙවැනි තත්වයන් පුරෝකථනය කර සුදුසු විසඳුම් යෙදීම රජයේ වගකීමක් බවයි. පොල් සැපයීම අඩුවන කාලයේ දී පොල් සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීමට සීමා පැනවිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.