NewsTop Stories

රාජ්‍ය සේවක වැටුප ගැන “අවධානය” පමණද?

2025 ජනවාරි 01 දින සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව ජනාධිපති කාර්යාලය සැප්තැම්බර් 03 දින නිවේදනය කළා. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයේ කටයුතු කරන සමයේ දී ය.

අදාළ තීරණය ගනු ලැබුවේ විශ්‍රාමික ජනාධිපති ලේකම්වරයෙකු වන උදය ආර්. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විධිමත් කමිටුවක වාර්තාවක් ලබා ගැනීමෙන් පසුවයි. ඒ අනුව, සියලු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩි වන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර තිබුණා.

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු කමිටු සාමාජිකයින් විසින් සැප්තැම්බර් 03 දින ජනාධිපති කාර්යාලයේ දී එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දීමෙන් පසුව මේ බව සඳහන් කර තිබුණා..

මෙහිදී ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින එකඟතා ගිවිසුමෙහි ඇතුළත් කොන්දේසිවලට අනුකූලව සහ ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මෙම වාර්තාව සකස් කර තිබෙන බවයි.

උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ සාමාජිකයින් කවුද?

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජූනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබුණා.

  1. හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න – සභාපති
  2. මුදල් අමාත්‍යංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්
  3. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි
  4. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර
  5. ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ
  6. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා
  7. ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව
  8. BCS International Technology PTY LTD හි ප්‍රධාන මහජන නිලධාරි චන්දි එච්. ධර්මරත්න
  9. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඉසුරු තිලකවර්ධන
  10. ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්ණන් පෙරේරා

මාස 03ක් ඇතුළත අදාළ අවසන් වාර්තාව ලබාදීමට කමිටුවට නියම කෙරුණු අතර කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කළ බව කමිටු සභාපතිවරයා සඳහන් කළා.

අදාළ කමිටුවේ වාර්තාව භාර දීමෙන් අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේද අපේක්ෂාව වන බවත්ය.

එසේම මෙම කමිටුව වෙත මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ වෘත්තීය සමිති ද සිය අදහස් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, එය මුදල් අමාත්‍යංශයේ අයවැය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද නියෝජනය වන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අංශ කිහිපයක ප්‍රධානීන්ද ඇතුළත්ව පත් කෙරුණු විධිමත් කමිටුවක් බව පෙනී යයි.

ඡන්ද පොරොන්දුවක් ද?

කෙසේ නමුත් මෙම කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් නිවේදනය කළ පසු බොහෝ දේශපාලන පක්ෂ සඳහන් කළේ එම වැටුප් යෝජනාව ඡන්ද අල්ලසක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවයි. නමුත් සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රකාශය තුළින් ද යෝජනා කර තිබුණේ මෙම කමිටුව විසින් යෝජනා කළ වැටුප් සංශෝධනයට ආසන්න වැටුප් ක්‍රමයකි.

ජාතික ජනබලවේගය පමණක් මෙවැනි වැටුප් වැඩි වීමක් සම්බන්ධයෙන් සඳහන් නොකළ අතර මාස 6කට වරක් වැටුප සමාලෝචනය කර අදාළ සංශෝධන සිදුකරන ක්‍රමවේදයක් යෝජනා කර තිබුණි.

වැටුප් සංශෝධනය ගැන නව ආණ්ඩුවේ අදහස කුමක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක පත් වීමෙන් ඔවුන්ගේ මතය වූයේ අදාළ කමිටු වාර්තාව නිසියාකාර වාර්තාවක් නොවූ බවයි.

2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ඔක්තෝබර් 15 දින සඳහන් කළා.

ඔහු කියා සිටියේ වැටුප් තීරණය මැතිවරණයට ආසන්නයේ දී එක්වරම ගත් තීන්දුවක් බවත්, ඊට මුදල් අමාත්‍යංශයේ අනුමැතියක් ලැබී නොමැති බවත් ය. එසේම එය ජනතාව රැවටීමට ගත් උත්සාහයක් බව විජිත හේරත් ඇමතිවරයා කියා සිටියා.

එසේම තමන් එවැනි පොරොන්දු ලබා නොදුන් බව ද විජිත හේරත් මාධ්‍ය හමුවේ සඳහන් කළා. එබැවින් අදාළ වැටුප් සංශෝධනය සිදුකරන බව හෝ නොකරන බව දැනට කිව නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

නමුත් රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබූ වැටුප් කමිටුවේ සාමාජිකයෙකු වන දුමින්ද හුලංගමුව වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයෙකු ලෙස පත් කර තිබෙන අතර එම කමිටුව නියෝජනය කළ ආලෝක බණ්ඩාර මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ. එසේම අනෙකුත් සියලු නිලධාරීන් එම තනතුරුවල සිටින අතර එවකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාව සිටින මහින්ද සිරිවර්ධන තවදුරටත් ලේකම්ධූරයේ කටයුතු කරනු ලබයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මතය කුමක්ද?

අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව පළමු වරට සහභාගී වූ ජන රැලිය ඔක්තෝබර් 19 දින තංගල්ලේ දී පැවැත්වූ අතර එහිදී ඔහු සඳහන් කළේ මෙම වසරේ දී අයවැයක් ඉදිරිපත් නොකරන බවයි. ඒ අනුව, 2025 වසරේ මාර්තු පමණ වනවිට අයවැය වාර්තාවක් ඉදිරිපත් කරන බවත් එහිදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් “අවධානය” යොමු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා. එයින් තහවුරු වන්නේ කිසිසේත් පසුගිය ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ජනවාරි මස සිට වැටුප් සංශෝධනයක් සිදු නොවන බවයි. නමුත් 2025 වසරේ ඉදිරිපත් කරන අයවැය තුළින් ද නිශ්චිතව වැටුප් වැඩි කිරීමක් සිදුවන බව ජනාධිපතිවරයා සඳහන් කළේ නැති අතර ඔහු සඳහන් කළේ වැටුප් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

නමුත් පාසල් දරුවන්ට දීමනාවක් ලබා දීම ඇතුළු නව සහනාධාර ක්‍රම සහ පවතින සහනාධාර 2025 අයවැය තුළින් ඉහළ දමන බව ඔහු පැහැදිලිව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *