NewsTop Stories

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වගකීම හාන්ස් විජේසූරියට?

රජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ආචාර්ය හාන්ස් විජයසූරියට ආරාධනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග රිවිර.lk වෙත පැවසීය.

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළම වෘත්තිකයකු වන හාන්ස් විජේසූරිය එම ආරාධනය පිළිගෙන ඇති බවත්, ඒ අනුව ඔහු ලබන මාසයේ සිට ඊට අදාළ රාජකාරි ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ආචාර්ය හාන්ස් විජේසූරිය මේ වනවිට Axiata සමූහයේ විදුලි සංදේශ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරනු ලබන අතර මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කාම්බෝජයේ මෙහෙයුම් අධීක්ෂණය කරමින් සිටී.

මේ අතර රජයේ ආරංචි මාර්ග පවසන්නේ ආචාර්ය හාන්ස් විජේසූරිය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් වන නව අමාත්‍යංශයක් පිහිටුවා එම අමාත්‍යංශය භාර ලේකම්වරයා ලෙස පත් කිරීමට යෝජනා වී ඇති බවයි. නමුත් එම තීරණය සම්බන්ධයෙන් හාන්ස් විජේසූරිය මේ වනතෙක් එකඟතාවයක් පළ කර ඇති බවක් වාර්තා නොවේ.

කෙසේ වෙතත් තංගල්ලේ දී පසුගිය දා පැවති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සඳහා ඉතා විශාල වැටුපක් ලබන වෘත්තිකයෙකු එම වැටුප් අත්හැර තම දායකත්වය ලබා දීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *