කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල සහ ලොකු පැටී ඇතුළු පිරිසක් විදේශයක දී අත්අඩංගුවට පත්ව ඇති බවට වාර්තා
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස ශ්රී ලංකා පොලිසිය හඳුනාගෙන සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් සහ සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී, සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ඇතුළු පිරිසක් බෙලරුස් සහ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.
ඇතැම් වාර්තාවලට අනුව, ප්රංශයේ සැඟව සිට බෙලරුස් දක්වා පලා යාමට උත්සාහ කිරීමේ දී කංජිපානි ඉම්රාන් නමැත්තා සහ රොටුඹ අමිල නමැත්තා අත්අඩංගුවට ගත් බව පැවසෙන අතර තවත් වාර්තාවලට අනුව, බෙලරුස්වල සිට රුසියාවට පැන යාමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙයි. ඇතැම් වාර්තාවලට අනුව, ලොකු පැටී නමැත්තා ඩුබායි හී දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුවද ඇතැම් වාර්තා අනුව, ඔහු ද බෙලරුස් හී දී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ කිසිඳු ආයතනයක් මගින් නිල තහවුරු කිරීමක් හෝ නිල ප්රකාශයක් සිදුකර නොමැති අතර සුරේන්ද්ර වසන්ත පෙරේරා ඝාතන සිදුවීමට අදාළ මොවුන්ගේ නම් සඳහන් වූ අතර කංජිපානි ඉම්රාන්ගේ සැලසුමකට අනුව ලොකු පැටීගේ මෙහෙය වීම මත එම ඝාතනය සිදුකොට ඇති බවට ද වාර්තා පළ විය. නමුත් ඊට එරෙහි අදහස් ද ඉදිරිපත්ව තිබූ අතර ඇතැමුන් පැවසූයේ මෙය කංජිපානි ඉම්රාන් හසු කිරීමේ අදහසින් වෙනත් අයෙකු විසින් සිදුකරන ලද්දක් විය හැකි බවයි.