Local

බන්ධනාගාර සිදුවීමට මම සම්බන්ධ නෑ – චම්පික රණවක

(RIVIRA.LK/Breaking, 2020 December 01, 01.01P.M.)

මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලට තමාගේ සම්බන්ධයක් නොමැති බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය චම්පික රණවක පවසනවා.

ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ආණ්ඩුවේ අසාර්ථක පරිපාලනය සම්බන්ධයෙන් ගොඩනැගෙනමින් පවතින සමාජ විරෝධය තමාගේ හෝ තම අනුදැනුම යටතේ පවත්වාගෙන යන කණ්ඩායමක් විසින් කෘතීමව නිර්මාණය නොකළ දෙයක් බවයි.

ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්.

“මහර බන්ධනාගාරයේ සිදුවූ වෙඩිතැබීම ඇතුලු ආණ්ඩුවේ අසාර්ථක පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින සමාජ විරෝධය මා සහ මගේ අනුදැනුම යටතේ පවත්වාගෙන යන යම් කණ්ඩායමක් විසින් කෘත්‍රීමව නිර්මාණය කරනු ලබන්නක් බව ආණ්ඩුවට හිතවාදී මඩ ප්‍රචාරකයින් විසින් තුට්ටු දෙකේ ගොසිප් වෙබ් අඩවි හරහා සමාජගත කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම නුසුදුසු බැවින් යම් පැහැදිලි කිරීමක් සිදුකල යුතුව තිබේ.

2015 ට පෙර පැවති රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම මෙරට ජනතාවට අමතක නැත. ඉහළින් ලද ලයිස්තුවකට අනුව තෝරාගත් පිරිසක් වෙඩි තබා ඝාතනය කල බවට ඒ සම්බන්ධයෙන් වූ විමර්ශණ වලදී හෙළිවූ බව වාර්තා වූ අතර සිර ගෙදරක ගැටුමක් යැයි කියූ පමණනින් ජනතාවට මතකයට එනුයේ වැලිකඩ ඝාතන නාටකයේ පිටපතම නැවත යලි රූගත කෙරෙන ආකාරයයි. වෙනස තැන හා දිනය පමණක් ය යන්න මෙරට ජනතාවගේ මතයයි.

දිවයිනේ බන්ධනාගාර තුල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. බන්ධනාගාර වල දැරිය හැකි සීමාව ඉක්මවා රැදවියන් සිටින බැවින් මෙවැනි වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරීයාමට විශාල ඉඩක් ඇත. එවන් තත්වයක් යටතේ කඩිනමින් ඊට අදාළ ප්‍රතිකර්ම නොගතහොත් රැදවියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම පුදුමයකට කරුණක් නොවේ. එය දේශපාලන කුමන්ත්‍රණයක් නොව සාමාන්‍ය මානව චර්යාවකි.

බන්ධනාගාර රැදවියන් අතර සිටින සටකපට කණ්ඩායම් මෙවැනි නොසන්සුන්තාවයන්හිදී සිරගෙයින් පළායාමේ අදහසින් ක්‍රියාකරන අතර එවන් තත්වයන් ඇතිවිය හැකියැයි සළකා ක්‍රියාකිරීමට ආන්ඩුවකට බුද්ධිය සහ හැකියාව තිබිය යුතුය. එසේ නොවී යම් ගැටුමක් සිදුවීමට ඉඩදී රැදවියන් වෙඩිතබා ඝාතනය කර තත්වය පාලනය කිරීමට ආන්ඩුවක් අවශ්‍ය නොවේ. 2015 සිට 2019 වසර දක්වා සිරකරුවන්ගේ කැරළි සිදු නොවන ආකාරයෙන් එම තත්වයන් කළමනාකරණය කිරීමේ හැකියාවක් අප සතුව පැවතිණි.

බන්ධනාගාර රැදවියන් අපරාධකරුවන් වන බැවින් ඔවුන් ඝාතනය වීම රටට යහපත් යැයි හැඟියන ආකාරයේ මාධ්‍ය සංදර්ශණ සිදුකෙරෙමින් තිබේ. යමෙකුගේ වරදකට අදාළ නීත්‍යානුකූල දඩුවමක් ඇත. ඒ දඩුවම ඉක්මවා වෙඩි තබා ඝාතනය කිරීම කිසිසේත්ම ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නොවේ. ආණ්ඩුව විසින් කොවිඩ් රැල්ල සිය ගජමිතුරන්ගේ ව්‍යාපාර සංවර්ධනය සදහා වන ඉල්ලමක් බවට පත් කරනවා විනා එය මර්ධනය කිරීම සදහා වන අවංක උපායමාර්ග භාවිතාකරනු අපට දක්නට නොහැක. සාමාන්‍ය සමාජය ගැන සංවේදීතාවයක් නොමැති ආණ්ඩුවක්, බන්ධනාගාර රැඳවියන් පිළිබඳව අවධානයෙන් ක්‍රියා කරනු ඇතැයි සැළකිය නොහැක.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ යන පුද්ගල චරිතය සහ වියත්මඟ, එළිය වැනි වෘත්තීය සංවිධාන සම්බන්ධයෙන් මෙරට පොදු මහජනතාව තුල නිර්මාණය කරන ලද සුචරිතවාදී, ජනකාන්ත ප්‍රතිරූපය දිනෙන් දින දරුණු කඩා වැටීමකට ලක්ව තිබේ. කාර්යක්ෂමතාවය වෙනුවට අකාර්‍යක්ෂමතාවයත්, වෘත්තීමයභාවය වෙනුවට ගජමිතුරුවාදයත්, සැමට එක් නීතියක් වෙනුවට අශිලාචාර පාලනයකුත් බිහිවෙමින් ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී රැවටීමට ලක්වී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජන්දය භාවිතා කල මෙරට මැදිහත් ජන්දදායකයින් දැන් ක්‍රමිකව සිය තීරණය ගැන කම්පාවට පත්වෙමින් ඇති අතර ඔවුන් ආණ්ඩුවේ මුග්ධ තීන්දු විවේචනය කරන තැනට පත්ව තිබේ.

අතීතයේදී ආණ්ඩුවල වැරදි, අඩුපාඩු සහ පීඩාකාරී නීති පිළිබඳව සංවාදයට ලක්වූයේ ගමේ කඩපිළේ, අවමංගල්‍යයේ, දානයේ හෝ නාන තොටුපළේය. නමුත් අද අප ජීවත් වනුයේ 21 වන ශතවර්ශයේය. පසුගිය දශකයෙන් ආරම්භ වී වර්තමානය වන විට ජනතාවගේ පුද්ගලික සහ සමාජීය චර්යාවන්ට සෘජු බලපෑමක් එල්ල කරන සමාජජාල මාධ්‍ය විසින් ආණ්ඩුකරණය කෙරෙහි එල්ල කර ඇති බලපෑම ඉතා ප්‍රභලය.

රූපවාහිනිය,ගුවන්විදුලිය සහ පුවත්පත් වැනි මාධ්‍ය ආණ්ඩුවේ පාලනයට යටත් කරගත හැකි අතර එක් සැලසුමකට අනුව පෙර පිළියම් කල පුවත් පමණක් සමාජයට මුදාහැරීමටත්, එසේ නොකරන මාධ්‍ය විවිධ වාරණ ක්‍රමෝපාය හරහා සිය ග්‍රහණයට ගැනීමටත් ආණ්ඩුවට හැකියාව ඇත. නමුත් සමාජජාල මාධ්‍ය තුල ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති සෑම දෙනෙක්ම මාධ්‍යවේදියෙක්, සමාජ විශ්ලේෂකයෙක් වනවා පමණක් නොව දේශපාලන විචාරකයෙක් බවටද පත්වේ. අන් මාධ්‍ය මෙන් නොව සමාජජාල මාධ්‍ය තුල යම් පුද්ගලයෙකු විසින් පළකරනු ලබන කරුණක් ඔහු හා සම්බන්ධව සිටින විශාල පිරිසකගේ අදහස් සහ මතවාද ගොන්නක සංවාදයක් බවට පත්වේ. එය පාලනය කිරීමට යාම වර්තමාන ලෝකයේ වෙනස්වීම් පිළිබඳව අවබෝධයක් නැති නූගතුන් විසින් සිදුකිරීමට උත්සාහ කරන මෝඩ ක්‍රියාවකි. මිනිසුන්ගේ සංවාද අවකාශයන්, එහි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමෙන්, ඔවුන්ගේ චරිත ඉලක්ක කර මඩ ගැසීමෙන් අඩපණ කල නොහැකි බව මානව ඉතිහාසය විසින් සාක්ෂි දරනු ඇත.

නමුත් එවැනි සමාජ අවබෝධයක් නැති අශිලාචාර මෝඩයින් පිරිසක් විශාල මුදලක් වියදම් කරමින් නඩත්තු කරමින් ඔවුන් හරහා මා සහ මේ අදක්ෂ පාලක පිරිස විවේචනය කරන සාමාන්‍ය තරුණ තරුණියන් දහස් ගණනක් ඉලක්ක කරමින් සිදුකරන මඩගැසීමේ මෙහෙයුම අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

පසුගිය ජනාධිපතිවරණයට වසර කිහිපයකට පෙර සිටම එවකට පැවති පාලනයට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකොට, හිස් මිනිසෙක් මහා යුගපුරුශයෙක් ලෙස පුම්බා පෙන්වමින් සිදුකල මාධ්‍ය මෙහෙයුම ගැන සිතමින්, අපද ඒ මග යමින් කෘත්‍රීම ආණ්ඩු විරෝධයක් නිර්මාණය කරනු ඇතැයි බියෙන් පසුවන පාලකයින්ගෙන් මා එක් ඉල්ලීමක් කරමි. සමාජජාල වල වර්තමාන ආන්ඩුව කෙරෙහි එල්ල වන විවේචන මුදල් ගෙවා කෘත්‍රීමව නිර්මාණය කෙරෙන්නක් යැයි ඔබ සිතනවානම්, රටේ තරුණ ප්‍රජාව එක්වන වෙනත් තැන් වල නිර්මාණය වෙමින් පවතින ආණ්ඩු විරෝධයේ පියා කවුරුන් වේද යන්න ආණ්ඩුව සොයාබැලිය යුතුමය.

මෙරට දක්ෂ කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරමින් බාල වර්ගයේ මඩ සිංදු සැකසු, මෙරට සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට අපහාස වන අන්දමින් මඩ වීඩියෝ සැකසු, මෙරට සංස්කෘතියට අපහාස වන අන්දමින් නිරුවත් රංගන සමාජගත කල පුද්ගලයෙකු වියත් මඟ සංවිධානයේ ප්‍රධාන ප්‍රචාරණ සැලසුම්කරු බවට පත්වීම කෙතරම් ජුගුප්සාජනකද යන්න මෙරට පොදු මහජනතාව තීරණය කල යුතුය. ආරම්භයේදී අපද කලක් ඉතා හොදින් ඇසුරු කල වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ලේඛකයින්, දාර්ශණිකයින්ගෙන් සමන්විත වූ සංවිධානයක්, රාජ්‍ය බලය ලබාගත් පසු මඩ ෆැක්ටරියක් බවට පත්ව තිබීම පිළිබඳව ඉංජිනේරු උපාධිධාරියෙක් වශයෙන් මා දැඩි කණගාටුවට පත්වෙමි.

සිය ව්‍යාජ ලෙස පුම්බන ලද ප්‍රතිරූපය මහපොළොවේ යථාර්තයන් හමුවේ කඩා වැටීම මගේ කුමන්ත්‍රණයක් නොව නුඹලාගේ අසාර්ථකභාවයයි. ඉන් පීඩාවට පත්වන මෙරට තරුණ ප්‍රජාව තුලින් එල්ල වන විවේචනය මගේ කුමන්ත්‍රණයක් නොව නුඹලාගේ නොහැකියාවයි. මා අවසාන වශයෙන් ආණ්ඩුවට ලබාදෙන උපදෙස වනුයේ, සිය නොහැකියාවට පිළියම් සොයනු වෙනුවට කූඨ ව්‍යාපාරයන් හරහා ගජමිතුරන් විසින් ඉපයූ කෝටි ප්‍රකෝටි ගණන් වූ ධනය, මානසික රෝහල්වල ප්‍රතිකාර ලැබිය යුතු අය මත වියදම් කොට, ඔවුන් ලවා අපට මඩ ගැසීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න.!

පාඨලී චම්පික රණවක”

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top