(RIVIRA.LK/Breaking, 2021 January 04, 08.38 P.M.)
ලෝකයේ ප්‍රකට ව්‍යාපාරයක් වන අලිබාබා සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන චීන ජාතික ජැක් මා පසුගිය මාස දෙකක කාලයක් පුරාවට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් විදෙස් මාධ්‍යයන් විවිධ වාර්තා පළ කර තිබෙනවා.
මෙයට වඩාත්ම හේතුවක් වී ඇත්තේ ඔහු විසින් නිර්මාණය කරන ලද ‘Africa’s Business Heros’ නම් වැඩසටහනෙහි අවසන් තරඟයේ දී විනිසුරුවෙකු ලෙසින් සිටි ජැක් මා පෙනී නොසිටීමයි. එහි රූගත කිරීම් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අවසන් කර ඇති අතර එහිදී ඔහු වෙනුවට වෙනත් විනිසුරුවරයෙකු පත් කර ඇත. නමුත් එම වැඩසටහන මෙතෙක් විකාශය වී නොමැති බව ද වාර්තා වේ.
එමෙන්ම, පසුගිය නොවැම්බර් මාසයේ දී චීනය විසින් හඳුන්වාදෙනු ලැබූ නව රෙගුලාසි හේතුවෙන් ජැක් මා ගේ ‘Ant’ ව්‍යාපාරයේ කොටස් නිකුතුව ද තහනම් කෙරුණි. ඊට සති කිහිපයකට පෙර දී ෂැන්හායි නුවර පැවති සම්මන්ත්‍රණයක දී ජැක් මා විසින් චීනයේ මූල්‍යමය නීති පද්ධතිය විවේචනයට ලක් කර තීබිමත් විදෙස් මාධ්‍යයන්ගේ අවධානයට ලක් වී තිබේ.
එහිදී, ජැක් මා විසින් පවසා තිබුනේ චීනයේ වර්තමාන මූල්‍ය ක්‍රමය කර්මාන්ත යුගයේ පැවති පුරවෘත්තයක් වැනි බවත් එම ක්‍රමය වෙනස් කළ යුතු බවත් ය.
මෑතක් වන තුරු ම චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සිටි ජැක් මා ගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 60ක්ව පැවති අතර පසුගිය මාස දෙකක කාලයක් පුරාවට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50.6ක් දක්වා පහතට වැටී ඇත්තේ චීනයේ ධනවත්ම පුද්ගලයින් අතර සිව් වැනි ස්ථානයට ඇද දමමින් ය.
